Tuesday, August 9, 2016

දානය

මුලින් ම මට දන් දීමේ අනුහස් වදාලේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේය.ඒ ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් පොඩි හාමුදුරුවන් වහන්සේ හත් දවසේ පිරිතකට යවා අවසාන විභාගයට පාඩම් කිරීමට බැරි වූ නිසා විභාගයේ දී පොඩි හාමුදුරුවන්ට මාගේ බෞද්ධ සංස්ක්‍රුතිය පේපර් එක දන් දෙන ලෙස උන්වහන්සේ මට වදාලේ ය.පොඩි හාමුදුරුවන් වහන්සේ ඒ වෙනුවට උන් වහන්සේගේ පාලි පේපර් එක මට දන් දීමට පොරොන්දු විය.එහෙත් උන්වහන්සේ මා පාලී දන්නේ නැතැයි සිතුවත් මා දන්නා ජාතක පාලි උන්වහන්සේ පවා දන්නේ නැත. අන්නෝන්‍ය වශයෙන් දන් දීමේ ප්‍රථිඵලයක් වශයෙන් හාමුදුරුවන්ගෙන් බලන් ලියූ  මට පාලි වලට "ඩී" සාමාර්ථයක් ද , පොඩි හාමුදුරුවන් වහන්සේට පාලි වලට "සී" සාමාර්ථයක් ද ලැබුණි.කෙසේ වුණත් ඒ විභාගයෙන් නම් පොඩි හාමුදුුරුවන්ට කලියෙන් මම නිවන් ගියෙමි.ඒ දන් දීමේ පලමු ආනිසංසයයි.

ඉන්පසු දිනක මාගේ මිතුරියක් මා වෙත පැමිණ ඈ ඇතුලු පස් දෙනෙකුට ලෙක්චර් එකට අත්සන් කිරීමට පුලුවන් දැයි ඇසීය.මම ඔහුන් චෙක්චර්ස් නොපැමීනීම විශාල පිනක් යැයි සිතා එක හෙලාම ඒ සඳහා කැමති විය.මම අත්සන් කලෙමි.එදින අත්සන් චෙක් කල අතර ආචාර්‍යවරයාට මම මාට්ටු විය.කල පව් නම් පල දෙන්නේමය.හොරකම් වුනත් කල යුත්තේ හොඳින් හිතා මතා ලේසියෙන්ම අතේ මාට්ටු වන පරිදිය.අනිත් හැම ලමයාම අත්සන් පත්‍රයේ නිල් පාටින් අත්සන් කර තිබූ අතර මම පමණක් අත්සන් පහම කළු පෑනෙන් අත්සන් කර තිබුණි.අහේතු කාලේන කජ්ජේන පුහුලන් කීවලු ඉතින්.අත්සන් කලේ මම යැයි පිලිගැනීමෙන් අනතුරුව දැඩි ලෙස අවවාද කොට මාගේ විභාග අංකය ද ලියා ගෙන එතුමා මා මුදා හලේය.එ අයුරින් මම මගේ එන්ඩ් එක්සෑම් එකට "මැරෙනා සැටි මා පෙන්නමී කියා "බෙල්ල දන් දුන්නෙමි.ඒ මාගේ දන් දීමේ දෙවන ආනිංසය යි.

කෙසේ වෙතත් හිතූ තරන් යකා කළු නැති වී ආචාර්‍යවරයා ආයෙත් මගේ බෙල්ල මටම  දන් දී තිබුනේ තව තවත් මා විසින් දාන් ධර්ම පින්කම්හි නිරත විය යුතු නිසා යැයි මම සිතමි.

මාගේ කපුටු කූඩුව කේශ කල්‍යාණය පිලිබදව මා පිලිබඳව දන්නා අයට අමුතුවෙන් කිව යුතු නැත.ඉහලට සුරුණ්ඩු වෙන කොණ්ඩය යන්තම් පහලට කර වවා ගත්තේ දැනට අවුරුදු එකහාමාරකට පමණ කලින්‍ ය.ඒ සඳහා මට සෑහෙන්න මහන්සි වන්නට ද වුණි.මේ ලඟදී මාගේ මිතුරෙකු පැමිණ මහරගම පිලිකා රෝහලේ පිලිකා රෝගී කාන්තාවන්ට විග් හැදීමට මාගේ කොණ්ඩය දන් දීමට පුලුවන් දැයි ඇසීය.සන්සිලික්,ඩ්‍රීම්‍ රොන්,රීබෝන් කර  නිව්බෝන් කොට පහලට යන්තම් වවාගත් කොණඩය දන් දීම හදවත හෝස් ගා පත්තු වෙන තරමේ දුකක් වූ අතර,ඒ වෙනුවට යන්තම් ආච්චීගේ හවරියක් දන් දී බේරුනෙමි.ඒ මාගේ දන් දීමේ තෙවන පාඩමයි.

ඉන්පසු වෙනත් විශ්ව විද්‍යාලයක යෙහෙලියක් ඇඬූ කදුලින් මා වෙත පැමිණ ආදරය යනු පරිත්‍යාගයක් බව මාගේ මිතුරියක්ට පවසන මෙන් ඉල්ලා සිටියා ය..ආදරය යනු කෙහෙල්මල් පරිත්‍යාගයක් නොව දන්දීමක් ම යැයි මම ඇයට පැවසුවෙමි.ඒ මාගේ දන්දීමේ පිලිබඳව වෙන කෙනෙක්ට ඉගැන්වූ පලමු පාඩමයි.බණ කීමට ගොස් ගුටි නොකා අනූ නවයෙන් බේර්‍රීම හතර   වන ආනීශංස යයි.

ඉන්පසු දිනක නැවත මාගේ මිතුරෙකු පැමිණ ඇස් දෙක ද ඉල්ලුවේ ය.සුදු අශ්වයා මගේ ගානේ යැයි කියා මාගේ ඇස් දෙක ගන්නා එකාට දෑමට මගේ ගාණෙම කණ්නාඩි කූට්ටමක් අරන් දීමට පොරොන්දු ඇතිව මම ඇස් දෙක ද දන් දුන්නෙමි.ඒ මාගේ දන් දීමේ පස්වන ආනිසංසයි.

දැන් නම් මම වෙස්සන්තර පරම්පරාවෙන් පැවත එන්නේ දැයි මට සිතෙයි.එසේ සිතමින් බස් එකේ යන විට හිඟන්නෙක් පැමිණ් රුපියක් තිහයි යනුවෙන් බෝධී පූජා පොතක් විකුණන්නේය.දන් දීමට පුරුදු වී සිටි මම,මා ලඟ රුපියක් තිහක් නැති නිසා රුපියල් සීයක් දී පොත මිලට ගෙන ඉතුරු සල්ලී දෙනකන් බලන් සිටියෙමි.ඔහු ඉතුරු සල්ලි වලට ද මට පින් දුන්නේය.මට මල යකා ආවේශ විය.අනේපිඬු සිටානන් ද අන්තිමට  නැති භංගවන්න සිදුවන්න ඇත්තේ මේ නිසා ම ය.අද සිට කිසිවෙක්ට දන් නොදී සිටීම යහපති යැයි කියා අම්මා ද පැවසුවා ය.
-විශ්වා-

No comments:

Post a Comment