Tuesday, August 9, 2016

බස් මැන්(ර්)ස්

මැනර්ස් නැමති ඒවා අති භයානකය.ඒවා රැකීම එලොව මෙලොව සුබ සිද්ධියට හේතු වන අතර ඒව කඩ කිරීම ගුටි කන ගුණයෙන් ද යුක්තය.කෑමට  ප්‍රිය වූ අපට දශක ගණනාවක පලපුරුද්ද නිසා බත් කෑමේ මැනර්ස් දැන් නම් අවුලක් වන්නේ නැති තරම් ය.අපිට බොහෝ විට අවුල් යන්නේ පොදු සේවයේ ප්‍රවාන මාධ්‍ය වල ගමන් ගන්නා විට රැකිය යුතු මැනර්ස් ය.බස් එකේ හා කෝච්චියේ යන එන හුදී ජන පසන් සංවේගය උදෙසා මෙසේ ලියමි.

මම බස් රථයකට ගොඩනැඟුනෙමි.මගීන් ගෙන් පිරී ඉතිරී තිබුනද ඉදිරිපෙල අසුනේ හිස් අසුනක් තිබෙන බව මම දුටිමි.එහි ගොස් මඳක් පරික්ශාකාරීව බැලූ කල්හි එහි වැඩ වදාලේ මෙහෙණින් වහන්සේ නමක් ය.කෙසේ වෙතත් ඕ තොමෝ සමඟ සම සමව හා හරි හරියට හිඳ ගැනීමට මාගේ ගෞරව පූර්වක හිත ඉඩ නොදුන්නේ ය.ඕතොමෝ එතනින් අසුන් ගන්නා ලෙස මට වදාලත් මම හිනා වී ලඟින් බසිනවා යැයි පැවසුවෙමි.

මඳ වෙලාවකින් ලහි ලහියේ තරුණයකු පැමිණ කිසිඳු සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඕ තොමෝ ලඟ හිඳ ගත්තේ ය.මට ද ඔහුට කිසිවක් කීමට නොහැකි වූ අතර මම ද නිරුත්තර වී බලා සිටියෙමි.
"ඔය දැරිවිට මෙතනින් හිඳ ගන්න කිව්වේ මේක හින්දා තමයි"
කොහේ දෝ යන ගිනි ගෙඩියක් වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනාක් මෙන් මට ම කැරකී ආවේ ය.ඒ හඬින් අර තරුණයා වහා ගැස්සී නැඟිට්ටේ ය.එකී තරුණයාට ද ලැජ්ජාවක් ඇති වූ බව හා ඔහු එතන හිඳ ගන්නට ඇත්තේ ද හාමුදුරුවහන් වහන්සේ නමක් යැයි සිතා නොසැලකිල්ලෙන් බව ද මට  විශ්වාස ය.
"හයියෝ නංගී...එහෙමත් සීන් එකක් තියනවා නේ.මට කික් වුනේ නැහැනේ ඒක.ඔහේ ඇවිත් වාඩි වුණා" යැයි මට ඇසෙන්නට  කියමින් ඔහු වහා නැඟිට්ටේ ය.

තවදුරටත් ඕතොමෝ අපහසුතාවයට පත් නොකර ඉන්පසු මම ඇය සමඟ සමව හිඳගත්තෙමි.මම දුර දිග හොඳට හිතා කරන බොහෝ වැඩ හේතුවෙන් අවසානයේ අපරිමාණව බැනුම් අසන වාසනා ගුණයෙන් නම් අඩුවක් නැත.ඕතොමො ටිකක් මට රිදෙන්නට මෙන් බණක් වදාලන්නට පටන් ගත්තා ය.ඒ උත්පලවන්නා මහ රහත් තෙරෙණීන් වහන්සේගේ කතා වස්තුවයි.උත්පලවන්නා මහ රහත් තෙරණිය කෙලෙසීමට පැමිණි තරුණයා ආනන්තරීය පාප කර්මයට හසු වී අපායට ගියත් , වැරදීමකින් ඕතොමෝ  සමඟ සමව හිඳගත් එකී තරුණයා නම් එවැනි පාපකර්මයක් කරනොගත් බව මට නම් තක්කෙට විශ්වාසය.ඕතොමෝ කුමක් මට වදාලත් බුදු දහම යනු එවැනි චූල පදනම් රහිත වූ ශ්‍රේශ්ඨ දරශණයක් බව මම දන්නෙමි.

කෙසේ වෙතත් අපි මහ මඟදී මෙවනි අපහසුතා වලට පත් වෙන්නේ අපගේ නොදැනුවත් බව නිසා නොව නොසැලිකිලිමත් කම හේතුවෙන් ය.ඒ නිසා පොදු ප්‍රවාහනයක් භාවිත කරන ඕනෑම මොහොතක මනා සිහි බුද්ධියෙන් සිටීම හා අවස්ථානූකූල හැසිරීම නුවණට හුරු ය.

විශ්වා

No comments:

Post a Comment