Saturday, November 26, 2016

චක්‍රීය දුමාරෙක ආදරය සොයමි.

පුංචි බොරැල්ලේ
හොස්ටල් එක ලඟ
චක්‍රීය දුමාරෙක
ආදරේ හොයන
කොල්ලොන්ට විතරක් විරිත්තන
කෙල්ලන්ට පුප්පන
එකී තමයි දවසටත් ගෑනි
කැම්පස් වත්තේ
මල්කූරු විකුණන

මට ඕනවුනේම දවසක
සිකියු(රු)ටි යුනිෆෝම් එකයට
එකිගේ පිට ලෑලි පපුවට
අස්සෙන් හැංගිලා ගල්වෙච්ච
ඒ ගෑනු හදවතට
තට්ටුවක් දාන්න
ඇහැට ඇඟිල්ලෙන් ඇනලා හරි
ඒකිව අඬවන්න...
එහෙම දවසක එකී ඇඬුවේ
තණමල්විල හෙල්ලිලා යන්න...
ඒකී අඬ අඬා වමාරන්නේ
ඒකිගේ ජීවිත කතාව...

තරුණකම තනි පැදුරේ
හොරු අරන් ඔහේ ගිහින්
කැලෙන්ඩරේ පිටු කැඩුනට
එකීටත් ඕන ඇති
හිත හැඳෙනකන්
පිරිමි උරහිසක එල්ලිලා අඬන්න...
නීතිය කන්‍යාවිය වුණත්
ඇස් බැඳන් නන්නත්තාරේ යනකොට,
අවනීතියෙන් හරි
තෙල් කෝලේ උඩ තියලා
එකී අඳින්නේ ඒකිගේ ජීවිතේ...
ඔව්..ඒකී දක්සයි තමයි
කොල්ලොන්ගෙ මහපොළෙන්
කලු සල්ලි මවන්න...

වැළහින්න වගේ
ඒකී අඬන්න ගත්තම
මහාමේරු පර්වතේ වුණත්
හෙල්ලිලා යන තරම්
"අප්පලා නැතත් දුවෙකුට
අම්මෙක් නැතුව මොකටද
මිස් දන්නේ නෑ මිස්
මගේ සොච්චම් පඩිය ගැන"
අවුරුද්දකට වැඩියෙන්
පිලිකාව උඩ දුවලා
මහරගම ඉස්පිරිතාලේ
අම්මා ගොරොත්ත අඳිද්දී
මට බලන් ඉන්න බෑ මිස්
බදු වැඩි සිගරෙට්ටු දැල්ලක
මල්කූරකට තියලා පුච්චලා
කොල්ලෝ මරලා හරි
මම හොයන්නේ සල්ලී  මිස්!!!

Sunday, October 2, 2016

තුම්මුල්ල (2)

2.

ඒ වෙද්දී අන්තර්ජාලය හරහා කරන මගේ ම කියලා පුංචි බිස්නස් වැඩකට මම අත ගහලා හිටියේ...මට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හදාගන්න එහෙමට කියලා ලොකුවට වුවමනාවක් තිබුනෙත් ඒ නිසාම යි.නීති පීඨය ඉස්සරහින් කහ ඉර පැනලා බැංකුවට මම ඉගිල්ලිලා ගියේ හරියට නිකන් අත් තටු ලැබුන පලවෙනි දවසේ පියාඹන සමනලයෙක් වගේ.

බැංකු සේවකයෝ කීප දෙනා හැරෙන්න ඒ වෙලාවේ බැංකුව ඇතුලේ හිටියේ මම යි, අලුත් නැවකින් බැහැගත්තා කියලා හිතන්න පුලුවන් චීත්ත කෑල්ලක් විතර ම යි.මල් මල් දිග සායකට සුදු පාට හැට්ටයක් ඇදගෙන හිටිය ඒ කෙල්ල දිහා ආයෙත් වතාවක් හැරිලා බලන්න හිතෙන තරම්.මගේ කුකුල් හිත මේ වගේ වෙලාවට මට ම හරි වදයක්.මහ ගමේ කෑල්ලක්!!!එහෙම හිතලා හරි මම මගේ හිත තද කරගත්තේ බොහොම අමාරුවෙන්.මේ ජර මර අස්සේ එයත් මගේ දිහා යන්තමට බලනවා මම දැක්කා.

"නොබලන් කුමරිය ,
නිසල මා දෙස , සසල් ඔබේ දෙනෙතින්,ආදර පවනින් නොසැලුන මගේ හිත,කැලඹිය නොහැක ඉතින්"

මොකද්දෝ හේතුවකට මගේ සුපර් සීනියර් කම පැත්තකට දාලා ඇයත් එක්ක වචනයක් දෙකක් කතා කරන්නම යි දැන් මට හිතෙන්නේ.අඩුම තරමේ නම හරි දැනගන්න ඇත්නම්.නම නැතත් කමක් නෑ ෆැකල්ටියයි ඉයර් එකයි දැනගන්න ඇත්නම්...මගේ හිත මම කරන්න ආපු වැඩේ පැත්තකට දාලා මම එක්ක වලි කනවා.එහෙම දකින දකින චීත්ත කෑලී එක්ක කතා කරන්න තරම් නම් මම බාල්දු වෙන්නේ නෑ.අන්තිමට මම හිතුවේ එහෙම.බැරිම තැන මම ම එයාට නමක් දාගෙන මගේ හිත නිදහස් කරගත්තේ.ඒ තමයි හිරුණි.ඔව්ව්...එයා තමා හිරුණි.දැන් නම් මගේ හිත හරිම නිදහස්...

"බැංකු කවුන්ටරයේ දී,, 

ඇයි හිරුණි මටත් හොරා මගේ හිත හොරකම් කරගත්තේ..අනේ ඒක මට දෙන්න..කෝ...ඔයා මගේ පුන්චි හීන සේරම සොරාගත් නිසා මම අසරණව මෙච්චර කාලයක් ඔයා හෙව්වා.වෙන කෙනෙක්ට දෙන්න වත් ඔයා හිත ඉතිරි නොකල නිසා මම දුකින් ඉන්නෙ"

හිරුණි බැංකුවෙන් එලියට යනකන්ම මම බලන් හිටියේ.අනේ හිරුණි ඔයා ගියාට ආයෙත් දවසක මට හමුවෙයි නේ ද?

"යාම හොදය, ගොස් ඒමද හොදය
ලොව ඇත්තේ යෑම් ඒම් පමණය"

එදා ලෙක්චරේ මම අසා සිටි දෙයක් නැත.හිරුණි මා අසලම මට මැවි මැවී පෙනෙයි.මම ආයෙත් වේගෙන් පොතේ පිටු පෙරලගෙන, පෙරලගෙන ගියා.

"ආලය මුලාවකි.කාලය කා දමන මල හත් ඉලව්වකි"

ඇයි මම එයාගේ නම වත් ඇහුවේ නැත්තේ...??දැන් ඇයි මම එයාගේ නම හරි අහන්න ඕන?ආහ්..අහන්නේ ඇයි??? නෑ...අහන්න ඕන නෑ...

එයා තමයි හිරුණි...එයා තමයි මගේ හිරුණි.එයාගේ නම මම දන්නවනේ...මම අහන්න ඕන නෑ...

හිරුණිගේ පිච්ච මල් ඉහිරිච්ච දිග සායට කොහොමද ඒ තරම් ලස්සනට ගැලපුනේ නිකන්ම නිකන් සුදු හැට්ටයක්?තනි කරලට ගොතපු කොණ්ඩේ ලස්සන...මම ඇය ලගින් ම හිට ගත්තොතින් ඇගේ කෙහෙ රැලි මගේ උරහිසේ ගෑවෙන නොගෑවෙන තරමට නම් ඇය ටිකක් උස යි..බටර් පාට මූණේ, කම්මුල් වල පුංචියට වල හැදිලා ඇය ලාවට හිනාවෙද්දී කොයි තරම් ලස්සන ද? මහ රෑ වෙනකන් ම මට එදා නින්ද ගියෙත් නෑ...නින්ද ගිය පැය කිහිපයටත් මට හීනෙන් පෙනුනේ මගේ හිරුණි.

"පිච්ච මල් වල සුවද පොද මෙනි,
අපේ ආදරණීය සිතුවිලි,
රැයේ සිහිනෙන් නො ආවෝතින්,
හිතේ උපදී දහක් මැසිවිලි"

(උපේක නිර්මාල් දින පොත)

(මෙහි සඳහන් සියලු උපුටා ගැනීම් කොලඹ විශ්ව විද්‍යාලයේ මේස මත සරසවි සිසුන් විසින් කුරුටු ගෑ නිදහස් සිතුවිලි ය)

Friday, August 12, 2016

තුම්මුල්ල (1)

1.

"පොටෝ කොපි කල නෝට් පිටු මතින් මැවෙන මුත් ඔබේ රුව වරින් වර දෑස් අයා බලන තෙක් හිද සිනාසී යලි මැකී යයි නුබ"

චාටර්ඩ් පන්තියේ තඩි පොත් ටිකයි,පලවෙනි දවසේ කැම්පස් අඳින්න ඉස්කෝලේ සුමනා මිස් අරන් දීපු මල් මල් දිග සායයි,සුදු හැට්ටෙයි ,තව මම ගෙදර තිබිලා එකතු කරගතපු ඇඳුුම් කෑලි ටිකයි දාගෙන මම ම හදාගතපු ගමන් මල්ල තරිදු අයියා මගේ අතින් උදුරා ගත්තා.
"නාට්ටහාමි වෙන්නේ නැතුව කෝ දෙනවා ඔය ලොකු බෑග් එක මෙහෙට"
ඊට පස්සේ තරිදු අයියා අපේ අම්මගේ මූණ දිහා බැලුවේ හරියට මගේ මුලු ජීවිතේ ම බර එයාගේ ජීවිතේ වගකීමක් කරගත්තා වගේ.

"මෙහෙම ඉදගෙන ඉන්නකොට අම්මයි,තාත්තයි ගොඩක් මතක් වෙනවා"

ඔව්...මට තාමත් මතකයි.කොහොම ද දෙයියනේ මට එහෙම අමතක වෙන්නේ???කප්පරක් හීන එක්ක මම කොලඹට නැව් නැග්ගේ දෙහිඅත්තකණ්ඩියේ බස් හෝල්ට් එකින්.එදා අම්මගෙයි, තාත්තගෙයි ඇස් වල දිලිසෙන කදුලු කැට වලින් මම දැක්කේ පපුවේ රස්නෙට දියවෙච්ච හරිම සීතල ආදරයක්...ඔව්..මගේ අම්මයි තාත්තයි විතරයි ඒ තරම් ම මට ආදරේ...

එදා පාන්දර පහ හමාරේ බස් එකේ පුදුම සෙනඟක් හිටියේ.කිටි කිටි තද වෙන්න සෙනඟ අතරේ බස් එකේ රේඩියෝවේ සෙත් පිරිත් දේශනාව යන්තමින් මට ඇහුණා.

"කොහෙ ද මචන් වට්ටි පෙට්ටි උස්සගෙන උදේ පාන්දර යන්නේ? පැදුරටත් නොකියම  රෑ පාන්දරින් ම උබලා දෙන්නා පැනලා යනවා වත්ද?"

ඒ බස් එකේ හිටිය තරිදු අයියගේ යාලුවෙක්.එයා එහෙම ඇහුව ම මට නම් ටිකක් ලැජ්ජ හිතුණා.මොන ටික ද ? කියන්න බැරි තරම්...

"නෑ බන්,මෙයාට හෙට කැම්පස් පටන් ගන්නවා.මම මේ කොලඹ එක්කගෙන යන ගමන්"

"ආහ්...නංගී කැම්පස් තේරුණා ද ?"

තරිදු අයියා ඔව් කියන ගමන් ආයෙත් වතාවක් මගේ මූණ දිහා හොරැහින් බැලුවේ හරිම ආඩම්බරෙන් වගේ.

"ඇතෙකුට ඇත් දළ යුවලක් වගේ මට ඔබගේ ප්‍රේමේ"

"එහෙනම් මචන් සුබ ගමන්!!! ඔන්න මමත් ඉස්සරහින් බැස්සා.උබලට බුදු සරණයි.."

ජනෙල් කවුළුවෙන් එකපාරට හමාගෙන ආපු සීත සුලගට මගේ කෙහෙරැල් අවුල් වුණා.කෙහෙරැල් විතරක් නම් බැරිය...අමාරුවෙන් හදාගතපු හිත ඊටත් වඩා අවුල් වුණා.

පව්...තරිදු අයියා..!!!.මට අද  එයා ගොඩක් මතක් වුණා එක පාරට ම.ඒ‍ත්..ඒත්..දැන් එයා කොහේ ඉන්නව ද දන්නෙත් නෑ මම.හිත ගොඩක් රිදුණා. පස්සේ එයා හමුදාවට බැඳුණා කියලා නම් මටත් වටින් ගොඩින් ආරංචි වුණා.

"ඔබ කොහේ හෝ ඇති මේ වෙලාවට 
ඈත කදු වැටි දෙස බලාගෙන
පාලු අදුරට ඉහ තියාගෙන
මම මෙතෙන ඉන්නවා වාගෙම"

(නෙතූ සකුණිකා දිනපොත)

සතියක විරාමෙකින් තුම්මුල්ලෙදිම තැග්ගැහෙමු

...විශ්වා...

(මෙහි සඳහන් සියලු උපුටා ගැනීම් කොලඹ විශ්ව විද්‍යාලයේ මේස මත සරසවි සිසුන් විසින් කුරුටු ගෑ නිදහස් සිතුවිලි ය)

Thursday, August 11, 2016

අලුත් නංගී

මම ඉස්සර හිතුවේ අලුතෙන් එකෙක් එන විට අලුතෙන් එන එකා පරණ එවුන්ට බය ඇතිය කියා ය.පසුව අත්දැකීමෙන් බැලූ විට අලුතෙන් එන එකාට සෑහෙන්න බය පැල් පැදියම් වී මුල් බැහැගත් පරණ වුන්‍ ය.අලුතෙන් එන සූටි එකෙක් අල්ලා බය කර තබා ගැනීමට මටත් හරි ආසය.මම බය වුණත් මට බය වෙන ජාතියේ ඩයල් එකක් නම් හමුවීම නැත.

ඉස්කෝල කාලේ නම් පිත්තල බැච් එකක් මට තිබූ නිසා ඉස්කෝලෙ ඇච්චියෝ මට බය ය.ඉස්කෝල කාලේ ඉස්කෝලේ ඇච්චියක් ,තවත් ඇච්චෙක් සමඟ කුණු ඇල පාරේ ප්‍රේමයෙන් වෙලී ගැලී යන විට මම දැක කලබලයට හා බයට පත් වී දෙන්න දෙමහල්ලෝ පාර පැන මාරු වූ හැටි නම් මරේ මරුය.කනේ පාරක් දෙනවාට වඩා ලස්සනට මූණ රතු වෙන්නට දෙක තුනක් ඉස්කෝලේ ඇච්චියන්ට කියා බැන්න වාර නම් අපමණය.එහෙත් වුන් අඬන්නට ගත්තොත් මම තරම් වුන් හුරතල් කල වෙන එකෙක් ද නැත.ඒ  නිසා මට බය වුණු උන් ඉස්කෝලේ ඕනෑතරම් හිටියත් ඉන්පසුව නම් මට බය වුණ එකෙක් නැත.ඉන්පසු ඉතා දැහැමි ජීවීතෙකට මම හුරු වී සිටියෙමි.
අපේ හොස්ටල් කාමරයෙන් එකෙක් ගිය විට අලුතෙන් එන එකා කෙසේ වේ දැයි අපි හීන මවමු.

"Every night in ma dreem,I see u...I feel u"

ජීවිතේට මල් මල් හීනයක් පේන්නේ නැතුව මලාවට ඕනෑම වෙලාවක නින්ද යන මට ඒක මහ කනවැන්දුම් සින්දුවකි.

"නංගී ..අලුත් නංගී ...කෝල් එකක්..."

ඇස් දෙක අරින්නත් කම්මැලිකමේ මම නිදි ඇඳේ සිටම හෙමිහිට කීවෙමි.කනවැන්දුම් සින්දුව උච්ච ස්වරයෙන් වාදනය වන අතර "අලුත් නංගී..ජැක් කතා කරනවෝ... " කියා මම හයියෙන් කෑ ගැඩුවෙමි.අලුත් නංගීගෙන් ඇති ප්‍රතිචාරයක් නැත.බැරිම තැන මම ඇස් දෙක ඇර වට පිට බැලුවේ කනවැන්දුම් සිංදුව කිය කිය දඟලන ඇගේ ජංගම දෙවියා මට වදයක් වුණ තැනය.අලුත් නංගී කාමරයේ නැත.දුරකථන ඇමතුම විසන්දි වූ අතර නැවත මම ඇස් පියා ගතිමි.

"අක්කා...මේ ගවුම ලස්සනද?"
ඇස් දෙක හැර ගවුමේ ලස්සන බැලීමටත් කම්මැලි වූ මම ඇස් දෙක පියාගෙනම පිලිතුරු දුන්නෙමි.
"ලස්සනයි...මේ කොහෙඳ ගියේ...ජැක් කෝල් කලා මම හිතන්නේ"
"මම මේ ගවුම ඇඳන් මේ හීල්ස් දෙක දාගෙන ඇවිදින්න ප්‍රැක්ටිස් කලා අක්කා පොඩ්ඩක් එලියේ...අනේ අක්කා..මේ..අනේ..මේ බලන්නකෝ මේකේ හැටි..බස් එකේ ඇඳගෙන යන්න හරි නැද්ද?".

ඒ පාර නම් පපුවේ පණ තියන පෘථඃජන මනුස්සයෙක් හැටියට ඇස් දෙක හැර මොකක් ඇඳගෙන ඇත්දැයි මට බලන්නට සිතුනි.පෝර උරයකට උර පටි යුගලයක් යොදා ඇති මෙන් ඈතට පෙනුනත් ඒක බ්‍රෑන්ඩ්ඩඩ් ගවුමකි.

"අවුලක් නම් නෑ...මේ නංගී කොල්ලෝ ඉන්නවද ඔයාලගේ  ඩිපාර්ට්මන්ට් එකේ.මම කියන්නේ ඔෆිස් එකේ?"
"නෑ ..අක්කා..ඔක්කොම නාකී අය අනේ..ඇයි අක්කගේ බෝයි අපේ ඔෆිස් එකේ ද?..."

තාමත් පූර්ව ලමා විය සංවර්ධනය නොවූ , කටේ කිරි සුවඳ එහෙමම වූ අක්කා ඒ ප්‍රශ්නයෙන් නම් කොරේ කොර වී ගියා ය.

"නෑ..එතකොට ස්ටෙයාර් කේස් එකක් ද ලිෆ්ට් එකක් ද තියෙන්නේ"
මගේ ප්‍රශ්න අලුත් නංගීට මොලේ මොංගල් කරවන සුළු වුණු බව තේරුණි.
"ලිෆ්ට් එකක් නම් තියනවා..."
"ආහ්..එහෙනම් අවුලක් නෑ ඕක ඇඳන් යන එක.කෝකටත් කියලා ටැක්සියක් අරන් යන්නකො ඔය ගවුම ඇඳන්..."

බස් වල ගියොත් මොකෙක් හරි කොලු නැට්ටෙක් කට කැඩිච්ච කතාවක් මේ ගවුමට කියුවොත් හවසට මට ඒ දුකත් අහන් ඉන්නට සිදු වේ දැයි මම කෝකටත් බය වුණෙමි..ඒ මම අලුත් නංගී සමඟ කතා කල පලමු වචන කිහිපයයි.

ලයින් එකේ සීන් එකක් දමා මුලින් ඉන්නට මට හිතුනත් කාමරේට අලුතෙන් ආ එකාට බකුසු මුණක් දමා යකා මාර්ක් එකෙන් වැඩි වෙලාවක් ඉන්නට මට බැරි විය.

"අක්කා...ඔයාගේ නම මොකද්ද?"
"විශ්වරංගි"
"අනේ...ස්වීට් අනේ"
මගේ නම අසා මොන පතරංග ජාතකයක් දැයි ඇසූ එකෙක් හැර ස්වීට් බියුටි ගෑ එකෙක් නම් මගේ මතකේ නැත.මේකාගේ නම නම් මට වැඩක් නැත.ගම දැනගන්නට ඇත්නම් යැයි මට සිතුනි.සමහර වෙලාවට දකුණේ ගොබ්බ වචනයක් දෙකක් එලිපිට කියා සිදු වෙන විලි ලැජ්ජාව බෙදා ගැනීමට ගඟෙන් එහා එකෙක් රූමියෙක් වේ නම් කොයි නම් තරම් සැපතක් දැයි සිතුනි.

"නංගී ගම?"
"මම බෙම්මුල්ලේ අක්කා"
"පෙම්මුල්ල...!!!!මලා නංගී පෙම්මුල්ල තියෙන්නේ බස් එකේ නෙවේ ද?"
"නෑ අක්කේ...බෙම්මුල්ල තියෙන්නේ ගම්පහ ,පෙම්මුල්ල බස් එකේ වුනාට"
"හ්ම්ම්.ඒකත් එහෙමද?.."
"මට කිව්වේ අක්කා හරි සැරයි කියලා අනිත් අක්කලා.මට ඒත් හරි පුදුමයි අක්කා ඉන්න විදියට ඒ තරම් නපුරුද කියලත්...තරහ ගියොත් බැනලා කවි දානවා කිව්වා..මම නෙක්ස්ට් ඉයර් අක්කලගේ ෆැකල්ටියට එන්න ඉන්නේ..අක්කා රැග් කරනවලුනේ ද...?.යූනියන් එකෙත් අක්කා ඉන්නවලු නේ..අක්කා තරහ ගියාම ලමයින්ට ගහනවලු නේද අහුවෙන එකකින්...කොල්ලෙක්ටත් අක්කා ගැහුවලු නේද පාරෙදී.."

"මොකක්...???මොකාද එහෙම කියුවේ.කවුද ඔය හරුප කිවේ ඔයාට දැන්..?"

කෙසේ වෙතත් ඓතිහාසික හොස්ටල් සැට් එක මා පිලිබඳව ගොඬ නඟා තිබූ භයංකාර ප්‍රතිරූපය අලුත් නංගී ඉදිරියේ මම විසින්ම කෙලසාගෙන තුට්ටු දෙකට ම ආයෙත් වැටුණි.දැන් නම් ආයෙත් මම පය පෑගෙන දූවිල්ලකි.

විශ්වා

සීලය

සිල් බිඳගන්නා අය නම් අඩුවක් නැත.සිල් රකින අයද අඩුවක් නැත.සීල ආදී උසස් ගුණ රකින උතුමන්ට දෙන තෑගි පිරිකර නමින් හඳුන්වයි.කලකට පෙර දාන පාරමිතාව සම්පූර්ණ කල මාගේ සීල පාරමිතාව මේ ආකාර ය.

ඉස්කෝලේ දෙන්නේ තෑගිය.පන්සලේ දෙන්නේ පිරිකරය.ඉස්කෝලේ ප්‍රයිස් ගිවන් එකටද අපේ සල්ලී අරන් අපටම තෑගි දෙන නිසා දහම් පාසලේ ද අපේ සල්ලි වලින් අපිටම පිරිකරක් දෙනවා යැයි මට සිතුණි.කෙසේ වෙතත් කාගෙන් හෝ ලැබෙන තෑග්ගකට හෝ පිරිකරකට මම තාමත් ආසය.

ඒ දිනවල අපේ මල්ලී මොට්ට සෝරියේ පලමු වසර අධ්‍යාපනය ලැබූ අතර මම හය වසරේ ය.තෑග්ගක් ගැනීමට ඊලග පෝයට මා සමඟ සිල් ගන්නට එනවාදැයි මම ඔහුගෙන් විමසුවෙමි.මම එසේ ඇසුවේ ඔහු මට වඩා බෙහෙවින් කුඩා නිසා පසුව ඔහුගේ තෑග්ගද මට රවටා ගන්නා අටියෙනි.අවසානයේ තෑගි ගැනීම සඳහා සිල් ගැනීමට ඔහුද එකඟ විය.ඒ තෑගි පිරිකර ලෙස හඳුන්වන බවද මම ඔහුට කියා දුන්නෙමි.

අම්මා අවුරුදු හතරක පමණ වයසැති මල්ලී සිල් ගන්නවාට අකමැති විය.නමුත් මල්ලී හිරල පන්නාගෙන අඬා දොඬා අම්මා කැමති කරගත්තාය.වසර හතක් පමණ  වැඩිමල්  භාරදූර්‍ය වගකීම් සහිත අක්කා ලෙස මම ඔහුද කැටුව සිල් සමාදන් වීමට පන්සල් ගියෙමි.

මල්ලී ද මම ද සිල් ගත්තෙමි. සක්මන් භාවනාවක් කරන්නට තිබුනි.සක්මන් භාවනාව අතර තුර අපේ මල්ලී මට අතින් ඇන්නේය.
"අක්කේ සරම ගැලවෙන්න වගේ"
"නෑ..එහෙම ගැලවෙන්නෙ නැහැ"
සක්මන් භාවනාව කරන ගමන්ම මම ඔහුට පැවසුවෙමි.
"ඒ අක්කේ..සරම ගැලවුනා නේ"
ටික වෙලාවකින් ඔහු බිම වැටුනු සරම අතට ගෙන යටට ඇඳගෙන ආ සුදු කොට කලිසම පිටින් ය.හතර විලි ලැජ්ජය.වසර හතක් වැඩිමල් භාරදූර්‍ය වගකීම් සහිත අක්කා ලෙස මම නැවත ක්‍රියාත්මක වී වහාම මල්ලීට සරම අන්ඳවා මගේ ලමා සාරියෙන් හැට්ට කට්ටක් ද ගැසුවෙමි.

ඉන්පසු ධර්ම දේශනාවක් ආරම්භ විය.ධර්ම දේශනාව අතර තුර මල්ලී ආයෙත් මට ඇන්නේය.

"ඒ අක්කේ මට .... දාන්න ඕන නේ"
"ඔහොම ඉන්නවා බණ ඉවර වෙනකන්"
"ඒ මට යන්න වගේ නේ"
මූ මෙතන කරෝතින් වසර හතක් වැඩිමල් භාරදූර්‍ය අක්කා ලෙස මට මෙතන හෝදන්නට පවා වේ යැයි බිය වුනෙමි. වහාම බණ මැද්දෙන් නැගිටා මම මල්ලී පිරිමි ලමුන්ගේ කැසිකිලියක් තියන තැනකට එක්කන් ගියෙමි.මල්ලී මට නැවත ඇන්නේය.
"ඒ අක්කේ මට තනියම යන්න බයයි.ඔයත් එනවකෝ"
කොහොමෙන් කොහොම හරි මේ යකා කැන්ඳාගෙන මම කොල්ලන්ගේ කැසිකිලියට ද ගියෙමි.වෙලාවට වෙන කොල්ලෙක් ඇතුලේ හිටියේ නැත.

නැවතත් පැමින සාවදානව බණ ඇසීමට පටන් ගත්තෙමු.ඉන්පසු උදෑසන දානයි.මල්ලී පිඟාන ද රැගෙන වාඩී වී සිටි පැදුරෙන් නැගිට්ටේය.ජීවිතේට බත් කා නැති සෝමාලියාවේ එකෙක් මෙන් "ඇන්ටී...මටත් බත් දෙනවා නේද?" යනුවෙන් ඔහු හයියෙන් ඇසුවේය.මේ බත් නොව දානය යැයි අත්තම්මා කෙනෙක් සැර දැම්මා ය.අබරන් සිල් ගත්තාට වැඩිය හපන්‍ ය.තත්වය ඉන්න එන්න බරපතලය.මට නම් ඔහුගේ වැඩ වලට දැන් දැන් එක සිය ගාණට තරහ ය.කෙසේ නමුත් අපි දෙන්නාගේම පිඟන් වලට දානය ලැබුනි.
අපේ මල්ලී ආයෙත් මට අතින් ඇන්නේය.
"ඒ අක්කේ බත් ටික කවනවකෝ"
"අතින් කනවා..මම අම්මා යැයි බත් කවන්න"එවර මම ඔහුට සැර කලෙමි.නොසිතූ විරූ ලෙස ශාලාවේ උළු විසි වෙන හයියෙන් ඒ යකා අඬන්නට පටන් ගත්තේ ය.වහාම අසල සිටි උපාසක අම්මලා ක්‍රියාත්මක වීම නිසා මල්ලීගේ අඩෝ වැඩියාව නතර විය.

දානය වලඳා අවසන් වී ටික වෙලාවකින් මේකාට නිදිමත සෑදී ඇත.ඊලඟ ධර්ම දේශනාවේ දී මගේ උකුලට වැටී හොඳටම නිදි ය.ටික වෙලාවකින් හදිස්සියේම අවදි විය.නින්දෙන් නැගිට්ටේම පිටි කිරි ඉල්ලා අඩාගෙන ය.හොටු පෙරාගෙන පොලොවේ හැපි හැපී කිරි පිටිම ඉල්ලයි.කිරි පිටි දීමට පන්සලේ ඇති එකෙක් නැත.තරහ වැඩිකමට ඔහුගේ කොණ්ඩය ඔහුම අත් දෙකින් රිදෙන්නට ඇඳ ඇඳ අඬයි.බණ දේශනාව මොහොතකට නවත්වා හාමුදුරුවන් වහන්සේ ද මල්ලී දෙස අනුකම්පාවෙන් බලයි.බුදු හාමුදුරුවන් පිරිණිවන් පෑවයි කීවත් සාදු සාදූ කියන උපාසක අම්මලා ඒ පාර නම් ඔරොවති.ගස්සති.

බැරිම තැන සීලය පැත්තකට දා ඔහු වඩාගෙන වසර හතක් වැඩිමහලු භාරදූර්‍ය වගකීම් සහිත අක්කා ලෙස  මම නැගිට්ටෙමි.කෙලින්ම ගෙදර ආවෙමි.ඉන්පසු නම් සිල් ගැනීමට කිසිම දිනයක ගියේ නැත.සිල් ද එපා විය.එදින සිල් පවාරණය නොකල නිසා නිසා තාමත් මම එකී සීලයම ගම් නියම් ගම්හි සැරිසරමින් රකිමින් කටයුතු කරන්නෙමි.ඒ නිසා නැවත සිල් ගැනීමට අවශ්‍යතාවක් ද නැත. :-D :-D :-P

විශ්වා

EX- පෙම්වතාට

මේ ලියන්නේ මගේ හොඳම මිතුරියගේ එක්ස් පෙම්වතාට,,,

මම හොඳටම විශ්වාසයි ඔයාට මාව මතක නෑ කියලා.ඒත් දවසක් අපි මුණගැහිලා තියනවා.මම ඇයගේ හොඳම මිතුරිය.කමක් නෑ ඔයා මාව නොදන්නවට...මම ඔයා දන්නවා...ඒ කියන්නේ ඔයා ඇයට එවපු හැම ආදරණීය කෙටි පණිවිඩයක් ගැන වගේ ඔය දෙන්නගේ හැම ආදරණීය හමුවීමක් ගැනම මම දන්නවා.එයාගේ හිත රිදෙන තරමට, ඇස් වලින් කඳුලු වැටෙන තැනට ඔයා තදින් කතා කල හැම වචනයක් ම මම දන්නවා.ඒ කියන්නේ ඔය දෙන්නගෙ කතාව මම මුල ඉඳලා අගටම දන්නවා කියන එකට...

මගේ මිතුරිය ඔයාව ගැන හිත රිද්දන් කතා කල හැම මොහොතෙම මම ඇයට ඉගැන්නුවේ ඔබේ සිතුවිලි වලින් හිතන්න.කෙටියෙන් ම කිව්වොත් මම ඇය ඉස්සරහ පෙනීසිටියේ ඔබ වෙනුවෙන්...ඒත් ඇයට ඔබ නොගැලපෙන චරිතයක් කියලා මම තේරුම් ගත්තා.

මට හරි පුදුමයි ඔබ ඇයගෙන් වෙන් වුණා කියලා දැනගත්තම.මට ඔය දෙය තේරිලා දැන් ගොඩක් කාලයක් වෙනවා.ඒ කොහොමද කියලා ඔයා මගෙන් ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඔයා වගේ පිරිමි අය ගැන මම කලින් දැනගෙන හිටියා කියල විතරයි.ඔයා එයාව ලස්සනයි කියපු පලවෙනි පිරිමියාවත් අන්තිම පිරිමියාවත් නොවන වග මම දැනගෙන හිටියා.මතක තියාගන්න...ඔයා මුහුදේ ඉන්න චූටිම චූටි හාල්මැස්සෙක් කියලා විතරක්...

ඔයා වගේ ගොඩක් අය හිටියට මම වගේ අය ඉන්නේ එක්කෙනයි.ඔබ ඇයව ප්‍රශ්න වලදි ඇතෑරලා ගියාට මම ඇයව ඇතෑරලා ගියේ නෑ.ඒකයි මිත්‍රයා උබයි මමයි වෙනස් කියන්නේ...එයා චූටි ගෑනු ලමයෙක් වගේ අඬද්දී ඔයාට ඇයව ඇතෑරල යන්න තිබුනු වගේ හිතේ හයියක් මට නෑ.ඇගේ අවසාන කාලය වෙනකන්ම මම ඇය එක්ක ඉන්න පොරොන්ද්දු වෙනවා.වැරදියට හිතන්න එපා...ඒ මගේ හොඳම මිතුරිය...ඔබ වගේ කොයි තරම් පිරිමි ඇගේ ජිවිතේට ලං වෙලා ඈත් වුණත් මම ඇය වෙනුවෙන් හැමදාම පෙනී සිටිනවා.වැරදියට හිතන්න එපා.ඒ මගේ හොඳම මිතුරිය...ඇයට අඬන්න ඔබේ උරහිස දෙන්න බැරි වුනාට මම අදත් ඇයව බඳාගෙන අඬනවා.අද වගේම හෙටත් ඇයව ශක්තිමත් කරනවා.දිරිමත් කරනවා.ඇගේ කතාව වගේම මගේ කතාවත් මගේ මිතුරිය හොඳටම දන්නවා.ඇයට ඔබ අහිමි වුණාට අපිට අපි අහිමි වුනේ නෑ මිත්‍රයා...

මම ඔයාට වෛර කරන්නේ නෑ...පලිගන්නේ නෑ...ඒත් එක ඉල්ලීමක් කරනවා.ඔබ ඇයව ඇසුරු කල කෙටි කාලේදී ඔබ ඇය ගැන දැනගත් ඇගේ අභ්‍යන්තර හෝ බාහිර කිසිම රහසක්, හීනයක්, අරමුණක් පිටස්තරයෙක් ඉස්සරහා කියලා මගේ මිතුරිට බාල්දු කරන්න වත් හෑල්ලු කරන්නවත් එපා..ඒ බොහොම ගෞරවනීය ඉල්ලීමක්...ඔබ ඇය හැර ගිය බව ඇත්තය..පින් සිද්ධ වෙයි...නමුත් ඇගේ ආත්ම ගෞරවය ඇගෙන් හැර යන තැනට කටයුතු කරන්න එපා...

එහෙම කලා කියලා මම ඔයාට කවදාවත් ගරු කරන්නේ නෑ...ඒත් මම ගරු කරනවා මගේ මිතුරියට හදවතින්ම කවදහරි දවසක ආදරේ කරන පිරිමියෙක්ට.එදාට මගේ මිතුරිය එදාට මේ ලෝකේ සුන්දරම පිරිමියා ලැබුණු වග මට කියාවි.එදාට ඒ සතුටු කඳුලු පිහිදාන්න මමත් ඉන්නවා.මට එදාට ඒ සතුට විදගන්න අමාරු වෙයි...

එකම වෙලාවේ ගෑනු ලමයි දෙන්නෙක්ට ආදරේ කරන්න එපා.ඔබේ පෙම්වතිය ඔබේ සමීපතමයන් ඉස්සරහා හෑල්ලු කරන්න එපා කවදාවත්.ඇය ඔබට නොවටීනා භාණ්ඩයක් කරන්න එපා සමාජය ඉස්සරහා.ආයෙත් කියන්නේ අන්තිමට කලින්...ඔයා අහිමි කරගත්තේ මේ ලෝකේ ඉන්න හොඳම ගෑනු ලමයා කියන එක...

අන්තිමට කියන්නේ මගේ මිතුරියට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරන ගමන් මට ඔබට ප්‍රාර්ථනා කරන්න ඉතුරු වුනේ අවබෝධය විතරයි.

නවතින්නම්...

මීට
විශ්වා
(අන්තර්ජාලය ඇසුරිනි)

Tuesday, August 9, 2016

බස් මැන්(ර්)ස්

මැනර්ස් නැමති ඒවා අති භයානකය.ඒවා රැකීම එලොව මෙලොව සුබ සිද්ධියට හේතු වන අතර ඒව කඩ කිරීම ගුටි කන ගුණයෙන් ද යුක්තය.කෑමට  ප්‍රිය වූ අපට දශක ගණනාවක පලපුරුද්ද නිසා බත් කෑමේ මැනර්ස් දැන් නම් අවුලක් වන්නේ නැති තරම් ය.අපිට බොහෝ විට අවුල් යන්නේ පොදු සේවයේ ප්‍රවාන මාධ්‍ය වල ගමන් ගන්නා විට රැකිය යුතු මැනර්ස් ය.බස් එකේ හා කෝච්චියේ යන එන හුදී ජන පසන් සංවේගය උදෙසා මෙසේ ලියමි.

මම බස් රථයකට ගොඩනැඟුනෙමි.මගීන් ගෙන් පිරී ඉතිරී තිබුනද ඉදිරිපෙල අසුනේ හිස් අසුනක් තිබෙන බව මම දුටිමි.එහි ගොස් මඳක් පරික්ශාකාරීව බැලූ කල්හි එහි වැඩ වදාලේ මෙහෙණින් වහන්සේ නමක් ය.කෙසේ වෙතත් ඕ තොමෝ සමඟ සම සමව හා හරි හරියට හිඳ ගැනීමට මාගේ ගෞරව පූර්වක හිත ඉඩ නොදුන්නේ ය.ඕතොමෝ එතනින් අසුන් ගන්නා ලෙස මට වදාලත් මම හිනා වී ලඟින් බසිනවා යැයි පැවසුවෙමි.

මඳ වෙලාවකින් ලහි ලහියේ තරුණයකු පැමිණ කිසිඳු සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඕ තොමෝ ලඟ හිඳ ගත්තේ ය.මට ද ඔහුට කිසිවක් කීමට නොහැකි වූ අතර මම ද නිරුත්තර වී බලා සිටියෙමි.
"ඔය දැරිවිට මෙතනින් හිඳ ගන්න කිව්වේ මේක හින්දා තමයි"
කොහේ දෝ යන ගිනි ගෙඩියක් වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනාක් මෙන් මට ම කැරකී ආවේ ය.ඒ හඬින් අර තරුණයා වහා ගැස්සී නැඟිට්ටේ ය.එකී තරුණයාට ද ලැජ්ජාවක් ඇති වූ බව හා ඔහු එතන හිඳ ගන්නට ඇත්තේ ද හාමුදුරුවහන් වහන්සේ නමක් යැයි සිතා නොසැලකිල්ලෙන් බව ද මට  විශ්වාස ය.
"හයියෝ නංගී...එහෙමත් සීන් එකක් තියනවා නේ.මට කික් වුනේ නැහැනේ ඒක.ඔහේ ඇවිත් වාඩි වුණා" යැයි මට ඇසෙන්නට  කියමින් ඔහු වහා නැඟිට්ටේ ය.

තවදුරටත් ඕතොමෝ අපහසුතාවයට පත් නොකර ඉන්පසු මම ඇය සමඟ සමව හිඳගත්තෙමි.මම දුර දිග හොඳට හිතා කරන බොහෝ වැඩ හේතුවෙන් අවසානයේ අපරිමාණව බැනුම් අසන වාසනා ගුණයෙන් නම් අඩුවක් නැත.ඕතොමො ටිකක් මට රිදෙන්නට මෙන් බණක් වදාලන්නට පටන් ගත්තා ය.ඒ උත්පලවන්නා මහ රහත් තෙරෙණීන් වහන්සේගේ කතා වස්තුවයි.උත්පලවන්නා මහ රහත් තෙරණිය කෙලෙසීමට පැමිණි තරුණයා ආනන්තරීය පාප කර්මයට හසු වී අපායට ගියත් , වැරදීමකින් ඕතොමෝ  සමඟ සමව හිඳගත් එකී තරුණයා නම් එවැනි පාපකර්මයක් කරනොගත් බව මට නම් තක්කෙට විශ්වාසය.ඕතොමෝ කුමක් මට වදාලත් බුදු දහම යනු එවැනි චූල පදනම් රහිත වූ ශ්‍රේශ්ඨ දරශණයක් බව මම දන්නෙමි.

කෙසේ වෙතත් අපි මහ මඟදී මෙවනි අපහසුතා වලට පත් වෙන්නේ අපගේ නොදැනුවත් බව නිසා නොව නොසැලිකිලිමත් කම හේතුවෙන් ය.ඒ නිසා පොදු ප්‍රවාහනයක් භාවිත කරන ඕනෑම මොහොතක මනා සිහි බුද්ධියෙන් සිටීම හා අවස්ථානූකූල හැසිරීම නුවණට හුරු ය.

විශ්වා