Saturday, January 7, 2017

නුබ කොතන හිටියම මොකද?

මෙහෙම හිතුනේ මුහුණු පොතේ තිබුනු ජාතික රූපවාහිනියේ "සිහිනයකි රෑ' වැඩසටහනට "මුදු මුහුණේ" ගීතයට නාරද මහත්මයගේ පූර්විකාව ඇහුණම...

ඇත්තටම ඔබට බැරිද දෙතුන් වතාවක්,හත් අට පාරක් ආදරේ කරපු කෙනෙක්ට මොකුත්ම දන්නේ නෑ වගේ ආදරේ කරන්න.මම ඔබට යෝජනා කරනවා තුන් හතර පාරක් හරි ආදරේ කරලා ආදරෙන් පැරදිච්ච කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි ආදරේ කරන්න.මේක හරියට ගැලීලියෝට වහ බොන්න කියනවා වගේ වැඩක්!මේ ලෝකේ හැමදේටම පලපුරුද්ද අවුරුදු ගාණකින් හොයන අපිම ආදරේ කරන්න හොයන්නේ කාටවත් ආදරේ කරලා නැති,පුද්ගල ප්‍රේමයට ආගන්තුක මිනිහෙක් හරි ගැහැනියක් හරි.ඒ කියන්නේ ප්‍රේමය කියන අත්දැකීමෙන් පරිණත මනුස්සයෙක් නෙවේ අපි හැමෝම හොයන්නේ.අපි කැමති ප්‍රේමය කියන අත්දැකීම නොයිඳුල් කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි.ඒක තමයි කවුරු කොහොම කීවත් ඇත්ත.ලිංගික කුහකත්වය කියන පුළුල් මාතෘකාවට වස්තු බීජය අපේ හිතේ රෝපණය වෙන්නේ ඔතනින්.ආදරේ කරපු කෙල්ලෙක් වේවා කොල්ලෙක් හෝ වේවා ඔබට ආදරේ කරන්න දන්නවා.ඒ අය ඔබව තෝරගන්නේ සෑහෙන්න මට්ටමක පලපුරුද්දෙන්.ඒ තරම් මිනිස්සු සසඳලා ඒත් ඔබට ම ආදරේ කරනවා නම් ඒ ආදරේ කරන්නේ විහිලුවකට කියලා ලඝු කරන්න ඔබට අයිතියක් නෑ.මිනිස්සුන්ට කෙනෙක් ආදරේ කරනවා නම් ඒ මනුස්සයේ අතීතේ හාර අවුස්සන්න කිසිම ගෑනියෙක්ට හරි පිරිමියෙක්ට හරි ඇත්තටම ඕන නෑ...ඒත් අපි හරි කුහකයි.අපි හිතන්නේ අපිට දෙන හෝ ලැබෙන ආදරේ ගැන නෙවේ...මේ විදියටම තව   කී දෙනෙක්ට ආදරේ කරන්න ඇත්ද කියලා.කවද හරි අපි වෙන්වුනොත් වෙන කොල්ලෙක් කෙල්ලෙක් ලඟ අද තමන්ගේ පෙම්වතිය හරි පෙම්වතා හරි කොහොමට හුරුතල් වෙයිද කියලා. මේ අපිට ලඟා කරගන්න අමාරු සෑහෙන්න දුරක තියන බෝසත් ප්‍රේමයක් ගැන මම කතා කරන්නේ..මනුස්සයෙක්ට වරදින්න පුලුවන්.ඒත් මනුස්සයෙක්ව ආත්මීය වශයෙන් වට්ටවන්න,සමාජය ඉස්සරහ ඒ මනුස්සයගේ ආත්මය මරලා දාන්න කාටවත් අයිතියක් නෑ.ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට ඔබේ අතීතය ගැන කියලා තියන්න ඔබට යුතුකමක් තියනවා.ඒත් එහෙම කතාවක් අහන් නැතිව ඉන්න පෙම්වතෙක් හෝ පෙම්වතියක් විදියට ඔබට වගකීමක් තියනවා.රජී අයියා "රාත්‍රිය සිර ගෙයක්" ගීතයේ කියන විදියට හදවතක් තියන මනුස්සයෙක්ට ප්‍රේමයක් නැති වෙන්න ඉඩක් නෑ...ප්‍රේමය උත්තරීතරයි.ඒ වගේම සාපේක්ශයි.ඒ ප්‍රේමයටත් කවුරු කොහොම කීවත් උස්මිටිකම් තියනවා.මම ඔබට යෝජනා කරනවා ඒ උස් මිටිකම් වලට ගරුකරන්න.ඒ වෙනස ඉවසන්න.මම හිතන විදියට මට දැනෙන විදියට ප්‍රේමය කියන්නේ ඉවසීමට...ගරු කිරීමට...වින්දනයට...

අසේවනාච ආලේනම්

(නිමිත්ත-කවියෙක්ව දේවේශ සහගත ලෙස හැර ගිය පෙම්වතියකගෙන් ලියුමක්)

පොත් කරලා විකුණන්න
තීරු පත්තර වලට
ඒ වුණත් ලියුවේ නෑ
ඔබ වගේ කුප්ප කවි!

නොදන්නවා නොවේ මං
අපි දන්න ගොඩක් අය
මට පැතුවේ එක සිතින්
හෙණ ගෙඩියි වැහි නැතුව

ඇත්තමයි බැලුවාම
හැරගියේ මම නුඹව
හඳ වුණත් දන්නවා
ඔබ ලියුව දුක් කවිය
කවුරුත්ම දන්නේ නෑ
මම නොලියූ අපේ කවිය

රිදුණු තැන් අතගගා
ඔබ දන්නේ නැතුව ඇති
දැන් වුණත් අඬන හැටි
මගේ ඇස් ගොරකා ලොඩි!

"දේවේශ සහගත හැරයෑම"
කළු කබා ලොකු කතා!
උන් වුණත් දන්නෙ නෑ
ආදරේ සිහිල් ගති!!

ආදරේ කියන්නෙම
හද කීරිගස්වන
කිතිකවා සනසවන
හද නිවන සිහිල් ගති

තොදොල් වෙන ආදරේ
මට ඕන වෙලාවක
ඒ වුණත් ඔබ කිව්වේ
රුසියන් පොත් බලන්
ගෝර්කිගේ පඬි වැකි!

මේක රචනාවක්!

මගේ කොණ්ඩය කළු පාටයි.එය අප්‍රිකානු සම්භවයකින් පැවත එන්නෙකි.කොණ්ඩය වැවෙන්නේ කෙරටීන් නිසාය.තවද කොණ්ඩය යනු මිය ගිය සෛල විශේෂයකි.එහෙත් මැරුණු සෛල වැඩෙන්නේ කෙසේ දැයි මා ඇබිත්තන් කාලයේදී ඉතා විශාල ගැටලුවක් විය.පළා කොල මැල්ලුම් කෑමෙන් කොණ්ඩය වැවෙන බව අපේ තුනේ පංතියේ ගුරුතුමී කීවාය.එහෙත් කොණ්ඩය වැවීමෙන් බාබර්ලාට නිකරුණේ මුදල් ගෙවීමට සිදු වන නිසා මම පලාකොළ කෑම අත් හලෙමි.එදා මෙදා තුර මේ දක්වා මා යමෙක්ගෙන් බැණුම් අසා ඇත්නම් ඒවායෙන් වැඩි හරියක් මාගේ කොණ්ඩය කරණ කොටගෙනය.
මා ඇබිත්තන් කාලයේදී මාගේ කොණ්ඩය පීරන්නේ අපේ තාත්තාය.තාත්තාගේ ඒ පුරුද්දට මා කුඩා කල ඉතා ආශා වුණත් මම උසස් පෙල පන්තියේදී නම් එය මට මහත් හිරිහැරයක් විය.මම උසස් පෙල ටියුශන් පන්ති යන විටද තාත්තාගේ සාක්කුවේ තිබෙන කුඩා පනාව ගෙන දහසකුත් සෙනඟ යන එන ටියුශන් පන්ති ඉස්සර මා බලෙන් අල්ලා මාගේ අවුල් වූ හිසකෙස් පීරන පුරුද්ද තාත්තා අත් හැරියේ මාගේ ගෝරණාඩු ඉවසාගත බැරිම තැන විය හැකිය.

මම ඉතා අප්‍රිය කරන්නේ ඉස්කෝලේ උදේ රැස්වීමේ අවසානයි..ශිෂ්‍ය නායිකා අක්කලා ඉන්පසු මට මගේ කොණ්ඩයේ ඇඳ කුඳ හොයමින් වද තිස් දෙකම දෙයි.මම ඒ නිසා රැස්වීම ඉවර වෙන්නට ඔන්න මෙන්න තබා බොහෝ විට ක්ලාන්ත විය.එහෙත් තාමත් ක්ලාන්ත වීම කුමක් දැයි මා දන්නේ නැත.මගේ යෙහෙලියන්ට පාසලට එන විට කෑම පෙට්ටිය,ඉංග්‍රීසි පොත වැනි දේවල් අමතක වුණත් මට අමතක වන්නේ කොණ්ඩය පීරීමට ය.අපේ ස්කුල් වෑන් අංකල්ගේ හිසේ කෙස් ගාණට වඩා ඔහුද මාගේ කොණ්ඩය පීරා ඉස්කෝලය ඇතුලට යවා ඇත.

දිනක් මාගේ ගණිත ටියුශන් පංතියේ සර් මා නැඟිට්ටෙව්වේ ය.ඉන්පසු ඔහු මට කොණ්ඩය දිගට වවා කරලට තෙල් ගා පීරු කෙල්ලෙක්ගේ කොණ්ඩයක් පෙන්නුවේ ය.ගෑනු ලමයෙක්ට ඒ වගේ කොණඩයක් තිබුණම ලස්සනයි යනුවෙන් පැවසූ ඔහු තවත් පිරිමි ලමයෙක් පෙන්වා එක්කෝ ඒ කොල්ලා මෙන් නෝට් එකට කොණඩේ කපන ලෙස මගෙන් ඉතා කාරුණික ස්වරූපයෙන් ඉල්ලුවේ  මගේ කොණ්ඩේ නිසා පස්සේ පේලියේ ලමයින්ට හරියට කළු ලෑල්ල පේන්නේ නැති නිසා ය .එදින පන්තියේ කොල්ලෝ මට හිනා වුණත් මට ගාණක් නැත.මම ඊලඟ දවසේ ද පන්ති ගියේ එසේ මය.බැරිම තැන සර් මම පන්තියේ කොණකින් වාඩි කල අතර ඉන්පසු මගේ කොණ්ඩයට කුමක් හෝ නොකීවේ ය.

ඉන්පසු මගේ කොණ්ඩය මට හරහට හිටියේ මම පාසලේ ශිෂ්‍ය නායිකාවක ලෙස දිව්‍ රුම් දුන් අවස්ථාවේ දී ය.අපේ ශිෂ්‍ය නායිකා මණ්ඩලය භාර ගුරුතුමිය මට ශිෂ්‍ය නායිකා බැජ් එක පැලඳ ගැනීමට වේදිකාවට නැඟීමට පෙර පැත්තකට අඬ ගසා මිස්ගේ කොණ්ඩයෙන් ක(ර්)ල් කටුවක් ගලවා මගේ කොණ්ඩය පැත්තට පීරා ගැසීය.කොණ්ඩ කටුවත් එක්කම කොණ්ඩය නැඟිටීමෙන් මිස්ගේ උත්සාහය ගඟට ඉනි කැපුවා මෙන් විය.
ඉන්පසු කාලයක මට මගේ කොණ්ඩය වස කරදරයක් වූයේ මම විශ්ව විද්‍යාලයට ඇතුලත් වූවායෙන් පසුවය.මම කැම්පස් ගිය පලමු දවසේම කිරිබත් කැවුම් ආදියෙන් සංග්‍රහ කරන සීනීයර්ලාගෙන් එකෙක් මට කොණ්ඩ කැවුමක්  දී කොණඩ කැවුමට මට වඩා ලස්සන කොණ්ඩයක් තිබේ යැයි මාව සෙත්තල් කිරීමට ගැනීම නිසා මට කැම්පස් තිත්ත විය.කොණ්ඩය වවාගත් සීනියර්ලා දෙතුන් දෙනෙක් ෆැකල්ටියේ හිටි නිසා උන් දෙන්නා මට පෙන්නා අනිත් සීනියර්ලා උන්ගේ කොණ්ඩය මගේ කොණ්ඩයට වඩා ලස්සන යැයි නිරන්තරයෙන් මට තරවටු කිරීමේ අතුරු ප්‍රතිපලයක් ලෙස මම පලමු වසරේදී කැම්පස් ගියේ ඩීන් සර්ගේ හිසේ කෙස් ගාණටත් වඩා අඩුවෙන් ය.එහෙත් එහි අතුරු ප්‍රතිපලයක් ලෙස මම පලමු වසරේදී මාගේ කේශ කළ්‍යාණය වැවීම ආරම්භ කලෙමි.

එමෙන්ම මගේ කොණ්ඩයට උසුලු විහිළු කතා කිවූ කොල්ලෝ කීප දෙනෙක්ට විරුද්ධව කැරලි ගැසීමට මාගේ සූරවීර මිතුරියන් දෙදෙනා උත්සුක වීවෙන් අනතුරුව ඒ කොල්ලෝ සෙට් එක අදටත් අපි සමඟ ජන්මාන්තරය.

මා ගෙදර සිටින දිනකට මාගේ කොණඩය නිසා අම්මාගෙන් දහදොලොස් වතාවක් බැනුම් ඇසීම මාගේ විනෝදාංශය වී ඇති අතර අපේ අම්මා පවසන පරිදි මට කොල්ලෙකු සෙට් නොවෙන එකම හේතුව මාගේ කොණ්ඩයයි. සිලිකන් බෝතලයක්  එකපාර දැම්මත් ,මූස් ගා සෙට් කරත් ටික වෙලාවකින් මට ඕනෑ විදියට නොව කොණ්‍ඩයට ඕනෑ විදියට සිටින මගේ හිතුවක්කාර කොණඩයට මම ආදරෙයි.මගේ කොණඩය මට ආදරෙයි.

තාත්තගේ සුනාමිය

මගේ ජීවිතේටම අම්මා දුවනවා දැකපු පලවෙනි දවස ඒ.අම්මා ගෙදරට මොනවද බඩු වගයක් ගේන්න කඩේ ගිහින් හිටියේ.අම්මා අඬාගෙන ගෙදර දුවද්දී තාත්තයි මමයි සෑහෙන්න කලබල වුණ හැටි තාමත් මතකයි.මල්ලි ගොඩක්ම පොඩියි.අම්මට මොකක් හරි කරදරයක් වෙලා කියලමයි අපිට හිතුණේ.මුහුද පස්සෙන් එනවා කියලා අම්මා අඩද්දී මම තබ්බීරී වෙලා ගියා.අම්මා කියන විදියට අම්මගෙන් පස්සෙන් මුහුද එනවා...අම්මා මුහුදට කලින් පණ කඩාගෙන ගෙදර දුවලා...අම්මාට ඕන මල්ලියි මමයි තත්තායි අරන් ආයෙත් දුවන්න...අම්මා පිස්සුවෙන් වගේ මල්ලි වඩාගෙන දැන් අනිත් අතට දුවන්න හදන්නේ..දැන් දැන් පාරේ මිනිස්සු කෑ ගහගෙන දුවනවා මුහුද පස්සෙන් එනෝ...දුවන්න ගාගෙන ...එයාලා කියන විදියට එයාලගේ පස්සෙන් මුහුද ආපු වේගෙට දැන් මුහුද පාංචාලිය හංදියේ..අපේ ගෙදර ලඟ හංදිය ඒ....ගෙදර හිටිය අපේ තාත්තට අම්මාගේ හැසිරීම පට්ට විහිලුවක් වෙන්න තප්පරයක් දෙකක් ගියේ නෑ...මුහුද ඔයැගේ පස්සෙන් එනවා නම් ගෙදර දිව්වේ මොකටද...දැන් මෙහෙත් මුහුද ඔයැයිගේ පස්සෙන් එනවා ඇති...පාර දිගේ එහෙමම දුවන්න එපා ද... මොකටද ගෙදර ආවේ කියලා තාත්තා විහිලු කරන්න ගත්තම අම්මා යකා ඇවිස්සුණා.පාරේ මිනිස්සු කෑ ගහගෙන වාහන වල හරි පයින් හරි දුවනවා හයියෙන් අඬ අඬා කෑ ගහ ගහා.අම්මට ඕන අපිත් අරන් දුවන්න...තාත්තට ඕක හෙණ විකාරයක්...තාත්තා කියනවා දුවන්නම් වාලේ කොහේ දුවන්නද...මැරෙනවා නම් එකට මැරෙමු...දුවලා මහන්සි වෙලා මැරුණත් එකයි ....මහන්සි නැතුව මෙහෙම මැරුණත් එකයි කියලා...මට මතක විදියට අපේ අම්මාගෙන් තාත්තා කන පුරවලා අහගත්ත දවසක් නම් ඒ එදා තමයි...මාත් අම්මගේ පැත්ත ගත්තා.තාත්තගේ බක පණ්ඩිතකම නිසා හැමෝම මැරෙයි කියලා මට ජීවිතේ පලවෙනි වතාවට මරණ බය ඇති වුණා.තාමත් මතක වෙද්දී හිරිගඬු පිපෙනවා.මමත් කෑ ගහ ගහ අඬ අඬා තාත්තා අඳින්න ගත්තා ඒ පාර.මම අඬ අඬා කෑ ගහද්දී නම් තාත්තා දුවන්න ලෑස්තියි.ඒත් දුවන්න කලින් තාත්තට රැවුල කපන්න ඕනලු.පිස්සෙක් වගේ පාරේ දුවන්න බැහැලු....එහෙම කියලා මිනිස්සු පණ බයේ දුවද්දී අර කෝහේද ගිනි ගනිද්දී කවුද වීනා ගැහුවා වගේ මුහුද ගොඩ ගලලා ඉවර වෙනකන්ම අපේ තාත්තා රැවුල කැපුවා.එදා නම් මට තාත්තා එක්ක යක්ෂාරූඪ වෙලා හිටියේ...ඒත් දැන් තමයි තාත්තගේ ඉවසීම තේරෙන්නේ...අම්මා ඒ වෙලේ සෑහෙන්න බය වෙලා හිටිය එක ඔය වගේ ගෙදර ඇති වෙච්ච වාදයක් නිසා හරි ටිකක් වෙලාවකින් නැති වෙලා ගියා .ඒත් ඒ මතකෙට තාමත් හරි බයයි....ඇඟේ හිරිගඬු තාමත් පිපෙනවා මරණ බයට එදා ඇතිවෙච්ච...

සිංදුව

ඒක මහ අමුතු චරිතේ.. නිකන් දවසකට අපි කෝල් කලත් ආන්සර් කරන්නේ නැතුවට සුමාන ගාණකට පස්සේ හරි මොකද මේට් කතා කලේ මට කියලා, ඒකත් අකුරු අඩු කරලා   කෙටිම කෙටි පණිවිඩයක් එවන්න හරි අමතක කරන්නේ නෑ.අපි ප්‍රශ්නෙක හිටියොත්  අපිට උදව් කරන්න මිනිහට බැරි නම් මිනිහා දන්න කියන වෙන කෙනෙක් ලවා හරි උදව් කලා.ඒ මිනිහගේ හැටි !ඒත් එයාට ඕන දවසට කෝල් ආන්සර් කරන්න අපි සැඳී පැහැදිලා ඉන්න ඕන වුණා.නැත්නම් මිනිහ යක්ෂාරූඪ වුණා..දැන් අපිට ඒ සිංදුව කට පාඩම්...! ඔව්...අපේ සෙට් එකේ හැමෝටම වගේ...අපි ඒ සිංදුව අහන්න බෑ කිව්වොත් මිනිහා අපිට බලෙන් හරි තුන් හතර පාරක් අස්සවනවා ඒ සිංදුව...ඒකා මොන හේතුවට බීවත් ටිකක් වැඩි වුණොත් ඒකා කතා කරන්නේ ඒකාට තාම දිරවගන්න අමාරු අවුරුදු ගාණකට කලින් කාපු බූට් එකක් ගැන.මිනිහට කාපු බූට් එක දිරවගන්න බැරි තරමටම මිනිහා බිව්වම  කියන සාහිත්‍යය,දර්ශනය,ආගම,නීතිය,ආදරය හා විරහව කියන පුළුුල් මාතෘකා අපට දිරවගන්න අමාරු වුණා.මිනිහා ඒ හැම මාතෘකාවටම මේ සිංදුව ගැලපුවා.ඒකා හරි බයයි අපි ඒකා බිව්වම කියන සාරගර්භ දේවල් අහන් ඉන්නේ නැතුව ෆෝන් එක පැත්තකින් තියලා තියයි කියලා.ඒ නිසා බීවම විග්‍රහ කරන කරුණු වලින් නිතර ප්‍රශ්න අහනවා.එකී නොකී මෙකී හැම කරුණම අවධාරණය කරමින් සාරාංශ කරනවා.ඒ ඕනම වෙලාවකට අපිට මිනිහා බලාපොරොත්තු වෙන උත්තරේ දීගන්න බැරි වුනොත් ආයෙම අර සිංදුව මුලක ඉඳන් අහන්න වුණා.දැන් ඇති මේට් දේශානාව පව් නොදී නිදා ගනින් කියන්න හිතුණට අපි එහෙම කීවේ නෑ.මිනිහගේ හිත හොඳයි කියලා අපි දන්නේ බොන වුන්ගේ අක්මා වකුගඩු නරක වුණාට හිත හොඳයි කියලා ඒකා කියන නිසාම නෙවේ.ඒකා කියන විදියට දොස්තරලා වැඩිපුර සලකන්න ඕන බොන මිනිස්සුන්ට...ටොබැකෝ එකට,ගවර්මන්ට් එකට වැඩිපුර බදු සල්ලි ගෙවන්නේ වුන් නම් රජයේ ඉස්පිරිතාලවලින් වැඩිපුර සලකන්න ඕන වුන්ට...!බිව්වම කැඩෙන සිල්පද ගැන විතරක් නෙවේ හැදෙන හැටහුටාමාරක් රෝග ව්‍යාධීන් ගැනයි බීමත් පුද්ගලයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතු හා නොකලයුතු තැන් ගැනයි එයා දන්නවා.ඒ නිසා අපිට බොන්න එපා කියලා මිනිහට පැහැදිලි කරන්න කිසිම කරුණක් නෑ.මිනිහා ඒ ඔක්කොම දන්නවා.ඒ නිසා අපිට තිබුණේ මිනිහා බීපු දවසට මේ සිංදුව අහන්න ....අහගෙන ඉන්න...අනිත් උන් වගේම දුවලා පැනලා හිටියට මිනිහගේ හදවතේ ඉන්න හුදෙකලා මිනිහා ඉස්සර වෙන්නේ බීව දවසට...අපිට තිබුනේ එහෙම දවසට මේ සිංදුව අහන් ඉන්න..හරි මේට් සිංදුව පස්සේ  අහන්නම් කීවට මිනිහට අපිව සුවර් නෑ.මිනිහගේ ස්මාර්ට් ෆෝන් එකින් ඒ සිංදුව දාලා නොකියා ෆෝන් එක ලඟට කරලා , මිනිහගේ ක්‍රෙඩිට් කපාගෙන හරි අපිට ඒක ඇස්සුවා.ඊට පස්සේ අපිට ඒක අහගෙන ඉන්න වුණා.අහන් හිටියා..අහගෙන හිටියා...

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා....

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අඟින් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි

රස්සාව

ඒක තමයි මගේ පලවෙනි රස්සව.සේවා කාලය පැය දහයක් විතර.සේවා ගාස්තුව රුපියල් දහතුන් දාහක්.ඒ තමයි පලවෙනි පඩිය.දවසට පැයක් ගාණේ සති තුනක් විතර මට පහසු වෙලාවට කරපු එකක්.

ඒක කතෝලික අර්ධ රාජ්‍ය කොලඹ තදාසන්න බාලක පාසලක්.මට තිබුනේ සති තුනකින් සාමාන්‍ය පෙල ඉවර කරපු පොඩි කොල්ලෝ ටිකට ආර්ථික විද්‍යාව ගැන පොඩි හැඳින්වීමක් කරන්න.ඒක මුහුද අයිනේ තිබුන තට්ටු හතරක සෑහෙන්න පරණ ඔඩිටෝරියම් එකක්.මට තිබුනේ ඒක ඇතුලේ ආර්ථික විද්‍යාව කියන්නේ මෙන්න මේකයි කියලා මවලා කියන්න.ආර්ථික විද්‍යාව සියලු සමාජයීය විද්‍යාවන් අතර රැජිණයි කියලා හංවඩු ගහන්න.සාමාන්‍යයෙන් ආයෙත් කියන්න ඕන නෑ..උසස් පෙල කලා හෝ වාණිජ විශයන් සිංහල මාධ්‍යයෙන් හදාරන කොල්ලෝ කියන්නේ එකක් කියුවම දෙක තුනක් කියන්න පුලුවන් රැවුල කපන,හයියෙන් කතා කලොත් මම වුණත් ගැස්සිලා යන ටිකක් ඇම්බැට්ට ගණයේ කොල්ලෝන්ට.ඒ පන්තියත් එහෙමයි.

"ඇයි ඔයාලා ආර්ථික විද්‍යාව හදාරන්නේ?"
මම ඔහොම ඇහුවම මහ ප්‍රබුද්ධ ගණයේ උත්තර ලැබුණා.ඒත් මගේ හිත ගිය උත්තරේ මේක.
"අක්කේ...නෑ...සොරි ...මැඩම් මම දන්නේ නෑ ...ඊයේ ෆාදර්කාරයා ගෙදරට කෝල් කලා අද එන්න කියලා,ඒපාර අපේ ෆාදර්කාරයා උදේ මාව ජිප් එකේ දාගෙන ඇවිත් ඉස්කෝලේ ඇතෑරලා ගියා.ඔය ඉස්කෝලේ ෆාදර්කාරයා නේද...!!!"
පාඩම පටන් ගන්න හොඳම තැන නොදන්න එකෙක්ගෙන්.දන්න වුන් මටත් උගන්වයි කියලා හීනියට විතර බයකුත් තිබුනා.හැබයි ඒ කොල්ලගේ උත්තරේ කියපු විදියට මම හිනාව පාලනය කරගෙන දරුණු ටීචර් ලුක් එකක් හදාගත්තේ හරි අමාරුවෙන්.මම ආයෙත් පාඩම් උගන්වන්න ගත්තා.ආයෙත් වතාවක් අර කොල්ලා මැද්දට පැන්නා.

"මැඩම්...අර අපේ කොලේජ් එකේ ෆාදර්කාරයා නම් තඹ සතේකට විශ්වාස කරන්න එපා.ඌ මහා පැණියා..."

කටවහගන්නවා කියලා ඒපාර මම ටිකක් සැරින් කතා කලාම ඒකා කට වහගත්තා.ආයෙත් ටිකකින් පාඩම් අතර මැදට මේකා පැන්නා.

"මට මැඩම්ට මැඩම් කියන්න හිතෙන්නේ නෑ.අක්කා කියන්නද?"

"ඕන එකක් කියාගන්න....මේ පාඩම අහන් ඉන්නවා..."

"අක්කට කොල්ලෙක් නැද්ද?අර උදේ පාඩම් ඇවිත් කලේ අක්කගේ කොල්ලා නේද?"

"මේ මොන කෝලමක්ද?පාඩම අහන් ඉන්න බැරි නම් නැඟිටලා යනවා"

සාම්ප්‍රදායික පාසල් ගුරුවරයෙක්ගේ වචන සෙට් එක මමත් පාවිච්චි කලා.ඒත් ඉතින් ඒ කොල්ලා සාම්ප්‍රදායික ශිෂ්‍යෙක් වුනේ නෑ.මගෙන් බැනුම් අහලා ආයෙත් පන්තියේ ඉන්න තරම් දැහැමි චරිතයක් නෙවේ ඒක.ඒ කොල්ලා පන්තියෙන් නැඟිටලා ගියා.මමත් ගණන් ගන්නේ නැතුව දිගටම පාඩම කරගෙන ගියේ ඒ වගේ එකට එක කියන ලමයි මට පේන්න බැරි නිසා.ඒත් ඉතින් මම උගන්වන පැයේ මට වගකීමක් තියනවා මගේ පන්තියේ ලමයි ගැන.මේ යකා කොහේ ගිහින් මොනවා කරගනීද කියලා ටික වෙලාවකින් මට සෑහෙන්න බයක් ආවා.ඒත් ටික වෙලාවකින් මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් එනවා අර යක්ෂ පැටියගෙන්.

"මිස් අක්කා කැමති ඉංග්‍රීසි සිංදුවලට ද සිංහල සිංදුවලටද අහලා"

"කොහේද ඉන්නේ...එනවා පන්තියට..."

"බෑ...බෑ..පන්තියට එන්නේ නෑ...සිංහල සිංදු වලටද ආස ඉංග්‍රීසි සිංදුවලටද?"

මම ඒපාර පන්තියේ වෙන ලමයෙක් මේකාව හොයාගෙන එන්න යැව්වා.ඒත් එක්කම ආයෙත් කෙටි පණිවිඩයක් එනවා.

"මිස් අක්කේ ...පන්තියට ඇහෙනවද පියානෝ සද්දයක්!ඒක මිස්ට මගෙන්!!!"

කාලෙකට පස්සේ මම දන්නේ නැති ඉංග්‍රීසි ගීතයකට වාදනය වුනු හරිම ලස්සන පියානෝ වාදනය ඒ.උඩු හුලඟට අහුවෙලා මට ඇහුණු ඒ පියානෝ වාදනය මගේ හදවත පොඩ්ඩක් නතර කලා.හද්ද ඩොටේ සිංහල සිංදු විතරක් අහන මට ලැබුනු වටිනම තෑග්ගක් ඒ.ඔව්..ඒක ලස්සන තෑග්ගක්..!!!

ඉන්ටර්ර්‍ ර් ර් ර් වීව්

U have applied for .......... in our company?Can you come for the interview next friday කියා දුරකතන ඇමතුමක් ලැබුනු විට,
Ah,Um much busy next in week,Can I come for the interview today itself අහන තරමටම අපි මහ පුදුමාකාර බිසී හා මහ පුදුම ත්‍රිල් එකේ ඉන්නා මිනිස්සුය.ගූගල් ස්ට්‍රීට් වීම් වලට පින් සිද්ධ වෙන්නට හා මංමුලා කරවන සුළු ගූගල් මැප් එකට පින්දී පාරවල් තුන හතරක  ඇවිද  සුගලා දේවිය මෙන් එහි යන අපට පේන්නේ දත කට පූට්ටු වී අතේ ඇඟිලි දහයේම නියපොතු කකා බය වී අපි යන ඉන්ටවීව් එකටම ආ තවත් කීප පොලකි.ඔහුන් දෙස බලා නැවත අප දෙස බැලීමේ දී යම් ආත්ම සැකයක් ඇති වුවත් අපිට නම් ගාණක්වත් නැත.ඔවුහු සියලු දෙනා අතම මොන්ටිසෝරියේ ඉඳන් එකතු කරගත් සහතික මිටි ගණනකි.නිර්වස්ත්‍ර අත් දෙකකින් ඔහුනේ දෙස යටි ඇහෙන එබිකම් කරන අපට අපි ගැනම හිනා යයි.ඇතමෙක් ලඟ ලංකාවේ උස මහතම උපාධි සහතිකය වෙනම උරයක තබා ගෙන සිටි නිසා ඔහුන් නම් අපි හදුනාගත්තෙමු.රස්සාවකට යෑමට තුන් සිතක වත් නැතත් ඕන එකටයි එපා එකටයි සී.වී අප්ලෝඩ් කරන අපගේ වෘෂභ ගුණාංගයට කෝචොක් කිරීමට අපි වැනි වුන්ට මේ ඉන්ටර්වීව් වලට කෝල් කරන්නේ පූරුවේ කල පවකටම විය යුතුය. තප්පරයක් දෙකක් ගතවූ විට අඩුම තරමේ සී.වී එකේ ප්‍රින්ට් අවුට් එකක් වත් ලඟ තිබුනේ නම් වටින්නේ යැයි සිතුනු නිසා වට පිට බලා පියන් කෙනෙක්ට පනාව දමා ප්‍රින්ට් අවුට් එකක් ගන්න පුලුවන් වන්නේදැයි ඇසූවෙමි.ෆුල් සෆෝටිව් පියන් කෙනෙක් මෙවනි තැනක සිටීම වාසනාවක් මැයි හැඟෙයි.එක අවශ්‍යතාවක් සම්පූර්ණ වුනු විට තමත් අවශ්‍යතා හැට හුටාමාරක් මතුවන මානව ගුණය තීව්‍රර වී දැන් දැන් ෆයිල් කවරයක ද අවශ්‍යතාව මතු වෙයි.ආයෙත් සරණට හිටියේ පියන් ම ය.සතුට කරුණ නම් පියන් ඉක්කෙකු වීමයි.ඉක්කෙක්ට ඉක්කෙක් මුණ ගැසීමේ ප්‍රීතිය තව දුරටත් ඔකඳ වී ආයතනයේ ඉන්නා ලොකු ලොකු ඉක්කන් ගැනද ඔහු වර්ණනා කරන්නට පෙලෙඹීම නම් ඇණයක් වූ අතර ඔහු තවත් බොස් ඉක්කෙක් ලවා අපට ෆයිල් කවරයක් නම් ඉල්ලා දුන්නේ ය.මම ඔහුට අනේකවාරයක් ස්තූතිවන්ත වුනෙමි. දැන් නම් හිතේ සන්තෝසයෙන් ඉන්ටවීම් එකට ෆුල් ෆිට් එකේ ෆේස් කරනවා යැයි සිතා මගේ වාරයේ එද්දී ඉන්ටවීම් රූම් එකට ඇතුල් වන විට ඉතා සුපුරුදු බවක් දැනෙන්නට විය.සුපුරුදු බව ඇති වුනේ කෙසේ දැයි මතක් වෙන විට ජූලි හතයි මල කෙලියයි තවත් හතක් ද විය.
"Ah good morning,I think, we met  @ da first floor near lobby.u r  da one who asked from me a file cover to put ur CV .Am I right?"
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
(ඒ ඉන්ටවීම් එකද සාර්ථකව අවසන් වූ බව සතුටින් දන්වා සිටිමි)