Saturday, January 7, 2017

සිංදුව

ඒක මහ අමුතු චරිතේ.. නිකන් දවසකට අපි කෝල් කලත් ආන්සර් කරන්නේ නැතුවට සුමාන ගාණකට පස්සේ හරි මොකද මේට් කතා කලේ මට කියලා, ඒකත් අකුරු අඩු කරලා   කෙටිම කෙටි පණිවිඩයක් එවන්න හරි අමතක කරන්නේ නෑ.අපි ප්‍රශ්නෙක හිටියොත්  අපිට උදව් කරන්න මිනිහට බැරි නම් මිනිහා දන්න කියන වෙන කෙනෙක් ලවා හරි උදව් කලා.ඒ මිනිහගේ හැටි !ඒත් එයාට ඕන දවසට කෝල් ආන්සර් කරන්න අපි සැඳී පැහැදිලා ඉන්න ඕන වුණා.නැත්නම් මිනිහ යක්ෂාරූඪ වුණා..දැන් අපිට ඒ සිංදුව කට පාඩම්...! ඔව්...අපේ සෙට් එකේ හැමෝටම වගේ...අපි ඒ සිංදුව අහන්න බෑ කිව්වොත් මිනිහා අපිට බලෙන් හරි තුන් හතර පාරක් අස්සවනවා ඒ සිංදුව...ඒකා මොන හේතුවට බීවත් ටිකක් වැඩි වුණොත් ඒකා කතා කරන්නේ ඒකාට තාම දිරවගන්න අමාරු අවුරුදු ගාණකට කලින් කාපු බූට් එකක් ගැන.මිනිහට කාපු බූට් එක දිරවගන්න බැරි තරමටම මිනිහා බිව්වම  කියන සාහිත්‍යය,දර්ශනය,ආගම,නීතිය,ආදරය හා විරහව කියන පුළුුල් මාතෘකා අපට දිරවගන්න අමාරු වුණා.මිනිහා ඒ හැම මාතෘකාවටම මේ සිංදුව ගැලපුවා.ඒකා හරි බයයි අපි ඒකා බිව්වම කියන සාරගර්භ දේවල් අහන් ඉන්නේ නැතුව ෆෝන් එක පැත්තකින් තියලා තියයි කියලා.ඒ නිසා බීවම විග්‍රහ කරන කරුණු වලින් නිතර ප්‍රශ්න අහනවා.එකී නොකී මෙකී හැම කරුණම අවධාරණය කරමින් සාරාංශ කරනවා.ඒ ඕනම වෙලාවකට අපිට මිනිහා බලාපොරොත්තු වෙන උත්තරේ දීගන්න බැරි වුනොත් ආයෙම අර සිංදුව මුලක ඉඳන් අහන්න වුණා.දැන් ඇති මේට් දේශානාව පව් නොදී නිදා ගනින් කියන්න හිතුණට අපි එහෙම කීවේ නෑ.මිනිහගේ හිත හොඳයි කියලා අපි දන්නේ බොන වුන්ගේ අක්මා වකුගඩු නරක වුණාට හිත හොඳයි කියලා ඒකා කියන නිසාම නෙවේ.ඒකා කියන විදියට දොස්තරලා වැඩිපුර සලකන්න ඕන බොන මිනිස්සුන්ට...ටොබැකෝ එකට,ගවර්මන්ට් එකට වැඩිපුර බදු සල්ලි ගෙවන්නේ වුන් නම් රජයේ ඉස්පිරිතාලවලින් වැඩිපුර සලකන්න ඕන වුන්ට...!බිව්වම කැඩෙන සිල්පද ගැන විතරක් නෙවේ හැදෙන හැටහුටාමාරක් රෝග ව්‍යාධීන් ගැනයි බීමත් පුද්ගලයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතු හා නොකලයුතු තැන් ගැනයි එයා දන්නවා.ඒ නිසා අපිට බොන්න එපා කියලා මිනිහට පැහැදිලි කරන්න කිසිම කරුණක් නෑ.මිනිහා ඒ ඔක්කොම දන්නවා.ඒ නිසා අපිට තිබුණේ මිනිහා බීපු දවසට මේ සිංදුව අහන්න ....අහගෙන ඉන්න...අනිත් උන් වගේම දුවලා පැනලා හිටියට මිනිහගේ හදවතේ ඉන්න හුදෙකලා මිනිහා ඉස්සර වෙන්නේ බීව දවසට...අපිට තිබුනේ එහෙම දවසට මේ සිංදුව අහන් ඉන්න..හරි මේට් සිංදුව පස්සේ  අහන්නම් කීවට මිනිහට අපිව සුවර් නෑ.මිනිහගේ ස්මාර්ට් ෆෝන් එකින් ඒ සිංදුව දාලා නොකියා ෆෝන් එක ලඟට කරලා , මිනිහගේ ක්‍රෙඩිට් කපාගෙන හරි අපිට ඒක ඇස්සුවා.ඊට පස්සේ අපිට ඒක අහගෙන ඉන්න වුණා.අහන් හිටියා..අහගෙන හිටියා...

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා....

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අඟින් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි

No comments:

Post a Comment