Saturday, January 7, 2017

රස්සාව

ඒක තමයි මගේ පලවෙනි රස්සව.සේවා කාලය පැය දහයක් විතර.සේවා ගාස්තුව රුපියල් දහතුන් දාහක්.ඒ තමයි පලවෙනි පඩිය.දවසට පැයක් ගාණේ සති තුනක් විතර මට පහසු වෙලාවට කරපු එකක්.

ඒක කතෝලික අර්ධ රාජ්‍ය කොලඹ තදාසන්න බාලක පාසලක්.මට තිබුනේ සති තුනකින් සාමාන්‍ය පෙල ඉවර කරපු පොඩි කොල්ලෝ ටිකට ආර්ථික විද්‍යාව ගැන පොඩි හැඳින්වීමක් කරන්න.ඒක මුහුද අයිනේ තිබුන තට්ටු හතරක සෑහෙන්න පරණ ඔඩිටෝරියම් එකක්.මට තිබුනේ ඒක ඇතුලේ ආර්ථික විද්‍යාව කියන්නේ මෙන්න මේකයි කියලා මවලා කියන්න.ආර්ථික විද්‍යාව සියලු සමාජයීය විද්‍යාවන් අතර රැජිණයි කියලා හංවඩු ගහන්න.සාමාන්‍යයෙන් ආයෙත් කියන්න ඕන නෑ..උසස් පෙල කලා හෝ වාණිජ විශයන් සිංහල මාධ්‍යයෙන් හදාරන කොල්ලෝ කියන්නේ එකක් කියුවම දෙක තුනක් කියන්න පුලුවන් රැවුල කපන,හයියෙන් කතා කලොත් මම වුණත් ගැස්සිලා යන ටිකක් ඇම්බැට්ට ගණයේ කොල්ලෝන්ට.ඒ පන්තියත් එහෙමයි.

"ඇයි ඔයාලා ආර්ථික විද්‍යාව හදාරන්නේ?"
මම ඔහොම ඇහුවම මහ ප්‍රබුද්ධ ගණයේ උත්තර ලැබුණා.ඒත් මගේ හිත ගිය උත්තරේ මේක.
"අක්කේ...නෑ...සොරි ...මැඩම් මම දන්නේ නෑ ...ඊයේ ෆාදර්කාරයා ගෙදරට කෝල් කලා අද එන්න කියලා,ඒපාර අපේ ෆාදර්කාරයා උදේ මාව ජිප් එකේ දාගෙන ඇවිත් ඉස්කෝලේ ඇතෑරලා ගියා.ඔය ඉස්කෝලේ ෆාදර්කාරයා නේද...!!!"
පාඩම පටන් ගන්න හොඳම තැන නොදන්න එකෙක්ගෙන්.දන්න වුන් මටත් උගන්වයි කියලා හීනියට විතර බයකුත් තිබුනා.හැබයි ඒ කොල්ලගේ උත්තරේ කියපු විදියට මම හිනාව පාලනය කරගෙන දරුණු ටීචර් ලුක් එකක් හදාගත්තේ හරි අමාරුවෙන්.මම ආයෙත් පාඩම් උගන්වන්න ගත්තා.ආයෙත් වතාවක් අර කොල්ලා මැද්දට පැන්නා.

"මැඩම්...අර අපේ කොලේජ් එකේ ෆාදර්කාරයා නම් තඹ සතේකට විශ්වාස කරන්න එපා.ඌ මහා පැණියා..."

කටවහගන්නවා කියලා ඒපාර මම ටිකක් සැරින් කතා කලාම ඒකා කට වහගත්තා.ආයෙත් ටිකකින් පාඩම් අතර මැදට මේකා පැන්නා.

"මට මැඩම්ට මැඩම් කියන්න හිතෙන්නේ නෑ.අක්කා කියන්නද?"

"ඕන එකක් කියාගන්න....මේ පාඩම අහන් ඉන්නවා..."

"අක්කට කොල්ලෙක් නැද්ද?අර උදේ පාඩම් ඇවිත් කලේ අක්කගේ කොල්ලා නේද?"

"මේ මොන කෝලමක්ද?පාඩම අහන් ඉන්න බැරි නම් නැඟිටලා යනවා"

සාම්ප්‍රදායික පාසල් ගුරුවරයෙක්ගේ වචන සෙට් එක මමත් පාවිච්චි කලා.ඒත් ඉතින් ඒ කොල්ලා සාම්ප්‍රදායික ශිෂ්‍යෙක් වුනේ නෑ.මගෙන් බැනුම් අහලා ආයෙත් පන්තියේ ඉන්න තරම් දැහැමි චරිතයක් නෙවේ ඒක.ඒ කොල්ලා පන්තියෙන් නැඟිටලා ගියා.මමත් ගණන් ගන්නේ නැතුව දිගටම පාඩම කරගෙන ගියේ ඒ වගේ එකට එක කියන ලමයි මට පේන්න බැරි නිසා.ඒත් ඉතින් මම උගන්වන පැයේ මට වගකීමක් තියනවා මගේ පන්තියේ ලමයි ගැන.මේ යකා කොහේ ගිහින් මොනවා කරගනීද කියලා ටික වෙලාවකින් මට සෑහෙන්න බයක් ආවා.ඒත් ටික වෙලාවකින් මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් එනවා අර යක්ෂ පැටියගෙන්.

"මිස් අක්කා කැමති ඉංග්‍රීසි සිංදුවලට ද සිංහල සිංදුවලටද අහලා"

"කොහේද ඉන්නේ...එනවා පන්තියට..."

"බෑ...බෑ..පන්තියට එන්නේ නෑ...සිංහල සිංදු වලටද ආස ඉංග්‍රීසි සිංදුවලටද?"

මම ඒපාර පන්තියේ වෙන ලමයෙක් මේකාව හොයාගෙන එන්න යැව්වා.ඒත් එක්කම ආයෙත් කෙටි පණිවිඩයක් එනවා.

"මිස් අක්කේ ...පන්තියට ඇහෙනවද පියානෝ සද්දයක්!ඒක මිස්ට මගෙන්!!!"

කාලෙකට පස්සේ මම දන්නේ නැති ඉංග්‍රීසි ගීතයකට වාදනය වුනු හරිම ලස්සන පියානෝ වාදනය ඒ.උඩු හුලඟට අහුවෙලා මට ඇහුණු ඒ පියානෝ වාදනය මගේ හදවත පොඩ්ඩක් නතර කලා.හද්ද ඩොටේ සිංහල සිංදු විතරක් අහන මට ලැබුනු වටිනම තෑග්ගක් ඒ.ඔව්..ඒක ලස්සන තෑග්ගක්..!!!

No comments:

Post a Comment