Saturday, January 7, 2017

නුබ කොතන හිටියම මොකද?

මෙහෙම හිතුනේ මුහුණු පොතේ තිබුනු ජාතික රූපවාහිනියේ "සිහිනයකි රෑ' වැඩසටහනට "මුදු මුහුණේ" ගීතයට නාරද මහත්මයගේ පූර්විකාව ඇහුණම...

ඇත්තටම ඔබට බැරිද දෙතුන් වතාවක්,හත් අට පාරක් ආදරේ කරපු කෙනෙක්ට මොකුත්ම දන්නේ නෑ වගේ ආදරේ කරන්න.මම ඔබට යෝජනා කරනවා තුන් හතර පාරක් හරි ආදරේ කරලා ආදරෙන් පැරදිච්ච කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි ආදරේ කරන්න.මේක හරියට ගැලීලියෝට වහ බොන්න කියනවා වගේ වැඩක්!මේ ලෝකේ හැමදේටම පලපුරුද්ද අවුරුදු ගාණකින් හොයන අපිම ආදරේ කරන්න හොයන්නේ කාටවත් ආදරේ කරලා නැති,පුද්ගල ප්‍රේමයට ආගන්තුක මිනිහෙක් හරි ගැහැනියක් හරි.ඒ කියන්නේ ප්‍රේමය කියන අත්දැකීමෙන් පරිණත මනුස්සයෙක් නෙවේ අපි හැමෝම හොයන්නේ.අපි කැමති ප්‍රේමය කියන අත්දැකීම නොයිඳුල් කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි.ඒක තමයි කවුරු කොහොම කීවත් ඇත්ත.ලිංගික කුහකත්වය කියන පුළුල් මාතෘකාවට වස්තු බීජය අපේ හිතේ රෝපණය වෙන්නේ ඔතනින්.ආදරේ කරපු කෙල්ලෙක් වේවා කොල්ලෙක් හෝ වේවා ඔබට ආදරේ කරන්න දන්නවා.ඒ අය ඔබව තෝරගන්නේ සෑහෙන්න මට්ටමක පලපුරුද්දෙන්.ඒ තරම් මිනිස්සු සසඳලා ඒත් ඔබට ම ආදරේ කරනවා නම් ඒ ආදරේ කරන්නේ විහිලුවකට කියලා ලඝු කරන්න ඔබට අයිතියක් නෑ.මිනිස්සුන්ට කෙනෙක් ආදරේ කරනවා නම් ඒ මනුස්සයේ අතීතේ හාර අවුස්සන්න කිසිම ගෑනියෙක්ට හරි පිරිමියෙක්ට හරි ඇත්තටම ඕන නෑ...ඒත් අපි හරි කුහකයි.අපි හිතන්නේ අපිට දෙන හෝ ලැබෙන ආදරේ ගැන නෙවේ...මේ විදියටම තව   කී දෙනෙක්ට ආදරේ කරන්න ඇත්ද කියලා.කවද හරි අපි වෙන්වුනොත් වෙන කොල්ලෙක් කෙල්ලෙක් ලඟ අද තමන්ගේ පෙම්වතිය හරි පෙම්වතා හරි කොහොමට හුරුතල් වෙයිද කියලා. මේ අපිට ලඟා කරගන්න අමාරු සෑහෙන්න දුරක තියන බෝසත් ප්‍රේමයක් ගැන මම කතා කරන්නේ..මනුස්සයෙක්ට වරදින්න පුලුවන්.ඒත් මනුස්සයෙක්ව ආත්මීය වශයෙන් වට්ටවන්න,සමාජය ඉස්සරහ ඒ මනුස්සයගේ ආත්මය මරලා දාන්න කාටවත් අයිතියක් නෑ.ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට ඔබේ අතීතය ගැන කියලා තියන්න ඔබට යුතුකමක් තියනවා.ඒත් එහෙම කතාවක් අහන් නැතිව ඉන්න පෙම්වතෙක් හෝ පෙම්වතියක් විදියට ඔබට වගකීමක් තියනවා.රජී අයියා "රාත්‍රිය සිර ගෙයක්" ගීතයේ කියන විදියට හදවතක් තියන මනුස්සයෙක්ට ප්‍රේමයක් නැති වෙන්න ඉඩක් නෑ...ප්‍රේමය උත්තරීතරයි.ඒ වගේම සාපේක්ශයි.ඒ ප්‍රේමයටත් කවුරු කොහොම කීවත් උස්මිටිකම් තියනවා.මම ඔබට යෝජනා කරනවා ඒ උස් මිටිකම් වලට ගරුකරන්න.ඒ වෙනස ඉවසන්න.මම හිතන විදියට මට දැනෙන විදියට ප්‍රේමය කියන්නේ ඉවසීමට...ගරු කිරීමට...වින්දනයට...

No comments:

Post a Comment