Friday, February 3, 2017

අසම්මත

රීඩ් මාවත දිගේ එන කැම්පස් කොල්ලෙක්ගේ කොණ්ඩ මෝස්තරේ දැකලා මට සෑහෙන්න හිනා ගියා.ඉත්තෑ කූරු කොණ්ඩෙකට කරන්ට් එක  වැදිලා වුනාට ඒකත් නරකම නෑ.ඒත් එහෙමයි කියලා ඒකට හිනාවෙන්න මට අයිතියක් නෑ.ඉබේටම වගේ කෙස් මුඩු තට්ටෙට මගේ අත ගියා.දාඩිය බිංදු කැට කැට හැදිලා කන් දෙක දෙපැත්තෙන් බේරෙන තරමටම අද සෑහෙන්න රස්නේ දවසක්.මුඩු හිසක් නොකාලයේ තනියම මේ ග්‍රීස්මේ කොහොම ඉවසන්නද මන්දා...පඬු පාට ලේන්සුවෙන් එහෙම වැටෙන දාඩිය කැට පිහ ගන්නවා ඇරෙන්න මේ ග්‍රීස්මේට කරන්න වෙන පිළියමක් නෑ.ජිම් එක ලඟින් හෙමින් සැරේ ශිෂ්‍ය භික්ෂු විවේකාගාරෙට වඩිද්දී නම් මට දැනුනේ නිවන් ගියා වගේ.කොල්ලෝ කෙල්ලෝ ස්ටඩියි ඒරියා එකේ පාඩම් කරද්දී බිම බලාගෙන වැඩියට ඇස් දෙක දස අතේ කැරකුණා.හිටි ගමන ඇස් වලට අකුණු පාරක් වැඳුනා වගේ...

බටර් පාට මූනේ හීනියට වල හැඳිලා ලාවට හිනාවෙන ඒ කෙල්ලගේ මූණ ආයෙත් හැරිලා බලන්න හිතුණා.දිග රපුන්සල් කොණ්ඩයක් උස පපුව උඩට වැටිලා තිබුන ලස්සන...ඒත් මේක හැරෙන්න පුලුවන් ගමනක් නෙවේ කියලා ආයෙත් මතක් වුණා.දේ දුන්න වගේ ගාණට හැඩ කරපු ඒ කෙල්ලගේ ඇස් දෙක දිලිසෙන්නේ මැණික් ගල් ඔබ්බවපු ගාණට...ඒත් ඉතින් මැණික් ගලේ පය හැපුණට කනා අහුලලා ගනී ද.. ?බුද්ධ පුත්‍රයෙක්ට කනා කියලා මම මට ම නිග්‍රහ කරගත්තා වගේ හැඟීමක් ඒපාර නම් මට ඇති වුනේ.පය ඉක්මන් කරපු මම පන්සලේ ඝන්ඨාරේ ගහනවා වගේ සද්දෙට භික්ෂු විවේකාරේ දොර දඩාස් ගාලා වහගත්තා. පඬු පාට රෙද්දක් අතුරපු සයනයේ වැතිරුණා.ටික වෙලාවකින් මට එයා මම ලඟ ඉන්නවා වගේ දැනෙන්න ගත්තා.එන්න එන්නම හිත නොසසුන් වුණා.එයාගේ මූණ රතු වෙලා යන්න හාදුවක් දෙන්න හිතුණා.බිත්ති ඔරලෝසුවේ තප්පර කට්ට වදින ටික් ටික් සද්දේයි මගේ පපුවේ ගැස්මයි ඇරෙන්න මට කිසිම සද්දයක් ඇහුනේ නෑ.කවදාවත් නැති විදියේ අමුතු හැඟීමක් දැණුනා.මම ආයෙම වතාවක් පුලුවන් තරම් හිත සංසුන් කරගෙන හවස ලෙක්චරේට වැඩියා.

ලෙක්චර් හෝල් එකේ එක එක කෙල්ලෝ අතරින් මගේ හිත ගිහින් නවතින්නෙම ඒයා ලඟින්.කොයිතරම් හිත තද කරන් අහක බලන්න හැදුවත් මගේ හිතත් නියෝන් එලියට ඇඳෙන මෙරුවෙක් වගේ වුණා.අත් කපපු ඇඟට හිර වෙන්න ඇඳපු ඇත්දල පාට බ්ලවුස් එකට ඒයා හුස්ම ගන්න විදිය පවා මට පෙන්න ගත්තා.ඒ හුස්මට හුස්මක් දුරින් ලංවෙන්න මට ඕන වුණා.දවස් ගාණක්ම මම හිටියේ පුදුම නොසසුන්කමකින්.

සිවුරට යට වෙලා සිල් රැක්ක තරුණ කොල්ලා එන්න එන්නම කෝල වෙන්න ගත්තා.අද එයාගේ උපන්දිනේ කියලා දැනගත්තම මට සතුටු හිතුණා.එන්න එන්නම හිතට පාලනයක් නැති වුනා.හෙමින්ම සැරේ බුක් ශොප් එකට වැඩම කරලා රතු පාට හදවතක් ඔරිගාමී කරලා කරලා අමුතුම විදියට හදපු උපන් දින සුබ පැතුම් කාඩ් පතක් අතට ගනිද්දී බුක් ශොප් එකේ අයියා මගේ දිහා අමුතුවට බැලුවා.මගේ මොකද මම ඉක්මනට සල්ලි ගෙවලා ලෙක්චර් හෝල් එකට ආපස්සට පාවෙලා ආවා.කොල්ලෝ කෙල්ලෝ පිරිවරාගෙන ඒයා කේක් එකක් කපන හැටි ඈතට වෙලා බලාගෙන හිටියා.ටික වෙලාවකින් කොල්ලෝ කෙල්ලෝ ටික එහාට මෙහාට ගියාම මම ඒකී ලඟට වැඩම කලා.

"ලඟන්‍යා....සුබම සුබ උපන් දිනයක්...!!!"

මගේ අතේ තිබුණ සුබ පැතුම් කාඩ් පත මම ඇයට දිගුකලා.හිත යට කාලයක් තිස්සේ කැකෑරෙන මගේ හැඟීම් ලියපු පුංචි ලියමනක් ඒ සුබපැතුම ඇතුලට දාලා තියන්න මම අමතක කලේ නෑ.
"අනේ...බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ..."

ඒයා ආයෙත් ලාවට හිනාවෙන ගමන් , මවාගතුපු ගෞරවයකින් සුබ පැතුම් කාඩ්පත අතට අරන් මගේ කකුල් දෙක අල්ලලා මම නොහිතපු විදියට මට වැන්දා...එක පාරට මුලු සර්වාංගෙම කීරි ගැහිලා ගියා.මම පුලුවන් ඉක්මනින් එතැනින් ආපස්සට වැඩම කලේ මහමෙරක් ඔලුවේ තියාගෙන.පන්සලේ බිත්තියේ සිතුවමේ ඉන්න මරඟනන් තෙල් පාටට දිලිසෙන මගේ මුඩු හිස උඩ එහේ මෙහේ ආලිංගන නර්තනයක් කරනවා වගේ පෙන්න ගත්තා.එහෙමයි මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරු තරමට ඔලුවට සෑහෙන්න බර ගතියක් දැනුණා.

ඊට පස්සෙන්දා ලෙක්චර්ස් යද්දී  ලඟන්‍යා ග්‍රීන්ස් ගාව මම එනකන් බලන් ඉන්නවා.
"හාමුදුරුවනේ....!!!"
එයා මට  ඊයේ මම එයාට දීපු සුබ පැතුම් පතේම කවරේ ආපස්සට මගේ අතට දුන්නා.මට සෑහෙන්න ලැජ්ජා හිතුණා.ඒ වගේම මහ පුදුම තරහක් ඉස්මතු වෙලා ඒ ලැජ්ජාව ඉක්මනට නැති වෙලා ගියා.ආයෙත් ඉක්මනට මගේ හිත වෙඬරු ගාණට මෙලෙක් වුණා.

"මට සමාවෙන්න හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ ගමන ඔබ වහන්සේ මම නිසා නතර කරගන්න එපා..!!!"

ඊට පස්සේ දිග කොරිඩෝව දිගේ ඒයා ආපස්සට හැරිලා දුවගෙන ගියා.මම නැවතිලා බලාගෙන හිටියා.

ඒ සුබ පැතුම් කවරේ ඇතුලේ කාලයක් තිස්සේ පොතක් ඇතුලේ දාලා වේලපු දිලිසෙන කහ පාට බෝ කොලයක් දාලා තිබුණා...!