Thursday, July 6, 2017

ප්‍රයිස් විනර්

මෙහෙම හිටියට මම හය වසරෙදී මැත්ස් වලට සෙක්ශන් ප්‍රයිස් එක ගත්තා😂 ඒකටත් හරි යන්න හත වසරෙදී ගණන් වලට අන්තිම වාරේ ලකුණු 49 ක් ගත්තා.😆 හත වසරෙදි අපේ පන්තියට ගණන් උඟන්වන්න නිල්වලා විද්‍යා පීඨෙන් ආපු සීමා වාසික සර් හොඳටම බය වුණා.ඇයි ඉතින් සෙක්ශන් ප්‍රයිස් ගහපු එකාට ඊලඟ වාරෙදි ලකුණු 49 ක් එන්නේ සර්ගේ උඟන්නපු විදියේ හොඳ කමට කියලා සර් සෑහෙන්න දුක් වුනා.සර් හමුවෙන්න එන්න කියලා ලමයෙක්ගේ අතේ පණිවිඩේ එවලා තිබ්බා.ඒ වුනාට පිරිමි ගුරු විවේකාගාරෙට යන්න මට හරි බය හිතුණා.මම ඉස්සර පිරිමි ගුරුවරුන්ට හරි බයයි.පිරිමි ගුරු විවේකාගරේ වටේ හත් අට පාරක් කැරකෙද්දී  සර් ඇතුලේ ඉන්නවා දැක්කා.ඒපාර ජනේලේ එල්ලිලා ,ජනේලෙට ගොඩ වෙලා "සර්...සර්...මම ආවා...එලියට එනවද"කියලා උණහපුලු පැටියෙක් වගේ අහපු හැටි මතක් වෙද්දීත් ලැජ්ජාවේ බෑ.මම ජනේලෙන් එල්ලෙනවා ගුරු විවේකාගාරේ ඇතුලේ හිටිය හාමුදුරුවෝ දැක්කා.හාමුදුරුවෝ " කෝ...කෝ ඔය ලමයා මෙහේ එන්න " කියද්දී මම සෑහෙන්න බය වුනා.වෙවැල් දෙකකුත් හාමුදුරුවන්ගේ මේසේ උඩ තියනවා දැක්කේ ජනේලේ උඩදිමයි.හීන් දාඩිය දැම්මා.හෙමින් ජනේලෙන් බැහැලා එහා පැත්තේ දොර ලඟින් ගුරු විවේකාගාරෙට එබුනේ දැන් නැතුවට දැන් ගුටි ලැබෙයි කියලා.හාමුදුරුවන්ගේ මේසේ උඩ කට්ලට් පිඟානක් තිබුනා.ඉස්සර ඕන පන්තියකින් ප්‍රායෝගික තාක්ෂනේට කෑම හැදුවම මුල් ම ටික හාමුදුරුවන්ට යවනවා.

"ඔය ලමයා ගෘහ විද්‍යාගාරෙට ගිහින් මට මිස් ගෙන් තක්කලි සෝස් බෝතලයක් ඉල්ලගෙන එන්න"

හම්මේ ඇඟට ලේ ටිකක් ඉනුවා.මම ආයෙම ගණන් සර් දිහා බැලුවා.සර් ඔලුවෙන්ම කීවා ගිහින් ඒක අරන් එන්න කියලා මුලින්.සෝස් බොතලෙත් අරන් එද්දී සර් ගුරු විවේකාගාරෙන් එද්දී එලියට බැහැලා හිටියා.හාමුදුරුවෝ මුලින්ම එතන තිබ්බ ලොකු කට්ලට් එකක් උඩට සෝස් ටිකක් දාලා මගේ අතට දුන්නා.මම කට්ලට් එකත් අරන් ගණන්  සර් ගාවට ගියා.සර්ගේ ප්‍රශන වාරේ ආරම්භ වුනා.මගේ අම්මේ සර් අහපු ප්‍රශ්න....

අඩි දෙකහාමාරක් විතර උස මම අඩි හයක් විතර උස සර් දිහා බලන් ඉඳලා බෙල්ලේ කැක්කුම් හැදෙනකන්ම සර් ප්‍රශ්න ඇහුවා.

1.අම්මයි ,තාත්තයි ජොබ් කරනවද?
ඔව
2.ගෙදර තව කවුද ඉන්නේ?
මල්ලී

3.මල්ලී ගෙනාවේ අලුතින් ද?
ඔව්.

4.මල්ලිට ඔයා කැමති නැද්ද?
කැමතියි.ඒ වුනාට වැඩිය නෑ.

5.අම්මා වැඩිය ආදරේ මල්ලිටද?
දන්නෙ නෑ.මටත් ආදරේයි.

6.තාත්තයි අම්මයි රණ්ඩු වෙනව ද?
නෑ...

7.උදේට කවුද ඉස්කෝලේ එන්න ඔයා ලෑස්ති කරන්නේ?
තාත්තා.

8.ඇයි තාත්තා ඔයාව ලෑස්ති කරවන්නේ?
අම්මට මල්ලිගේ වැඩ උදේට.මල්ලී උදේට ලෑස්ති කරලා ආච්චිලාගේ ගෙදර ගෙනිහින් දාන්න ඕන.

9.විභාගෙට ආවේ පාඩම් කරල ද?
නෑ.මම එදා හවස ළහිරු මඬලට යවන්න කවියක් ලීවා.ඒ නිසා පාඩම් කරන්න වෙලාවක් තිබුන් නෑ සර්.

10.ඇයි පාඩම් නොකරන්නේ..? අම්මා මල්ලිට විතරක් ආදරේ නිසා ද?අම්මා ඔයා ගැන හොයන්නේ නැද්ද?

ඕක අහද්දීම ඇස් වලින් කඳුලු ගෙඩි පිටින් පැන්නා.හෙන අමාරුවෙන් සර්ගේ මූණ දිහා එක එල්ලේ උඩ බලන් හිටියේ.ඒ දවස්වල කණ්නාඩි දාන්නේ නැති නිසා නිතර කඳුලු එනවා ඇස් වලින්.සර් දන්නෙ නෑ ඒක.සර් ආයෙම හොඳටම බය වෙලා මට යන්න කියලා ඊලඟ දවසේ අම්මට ඉස්කෝලෙට එන්න කියලා කෝල් කරලා. අම්මලා ආදරේ නෑ කියලා ඉස්කෝලේ ගිහින් මිස්ලා ,සර්ලා එක්ක මම ටොම් පච කියවලා කියලා අම්මා එදා හවස ඉස්කෝලේ ගිහින් ඇවිත් හොඳටම ඇඬුවා අද වගේ මතකයි ඕයී😂😂😂😂

ප.ලි
ඇත්තටම මට කවුද කීවා ගණන් හදන්න ඕන හොඳට හිතලා.සූත්‍ර ඒවාට දාලා කටපාඩම් විදියට ගණන් හැදුවම කැම්පස් යන්න බෑ කියලා පොඩිකාලේ.ඉතින් මම කැම්පස් යන්න ඕන නිසා හිත හිත හැදුවේ සූත්‍ර වලට එහෙම නොදා.කොයිතරම් හිතුවත් ගොඩක් ගණන් වෙලාව ඉවර වෙනකන්ම හදාගන්න හිතාගන්න බැරි වුනා.

Friday, February 3, 2017

අසම්මත

රීඩ් මාවත දිගේ එන කැම්පස් කොල්ලෙක්ගේ කොණ්ඩ මෝස්තරේ දැකලා මට සෑහෙන්න හිනා ගියා.ඉත්තෑ කූරු කොණ්ඩෙකට කරන්ට් එක  වැදිලා වුනාට ඒකත් නරකම නෑ.ඒත් එහෙමයි කියලා ඒකට හිනාවෙන්න මට අයිතියක් නෑ.ඉබේටම වගේ කෙස් මුඩු තට්ටෙට මගේ අත ගියා.දාඩිය බිංදු කැට කැට හැදිලා කන් දෙක දෙපැත්තෙන් බේරෙන තරමටම අද සෑහෙන්න රස්නේ දවසක්.මුඩු හිසක් නොකාලයේ තනියම මේ ග්‍රීස්මේ කොහොම ඉවසන්නද මන්දා...පඬු පාට ලේන්සුවෙන් එහෙම වැටෙන දාඩිය කැට පිහ ගන්නවා ඇරෙන්න මේ ග්‍රීස්මේට කරන්න වෙන පිළියමක් නෑ.ජිම් එක ලඟින් හෙමින් සැරේ ශිෂ්‍ය භික්ෂු විවේකාගාරෙට වඩිද්දී නම් මට දැනුනේ නිවන් ගියා වගේ.කොල්ලෝ කෙල්ලෝ ස්ටඩියි ඒරියා එකේ පාඩම් කරද්දී බිම බලාගෙන වැඩියට ඇස් දෙක දස අතේ කැරකුණා.හිටි ගමන ඇස් වලට අකුණු පාරක් වැඳුනා වගේ...

බටර් පාට මූනේ හීනියට වල හැඳිලා ලාවට හිනාවෙන ඒ කෙල්ලගේ මූණ ආයෙත් හැරිලා බලන්න හිතුණා.දිග රපුන්සල් කොණ්ඩයක් උස පපුව උඩට වැටිලා තිබුන ලස්සන...ඒත් මේක හැරෙන්න පුලුවන් ගමනක් නෙවේ කියලා ආයෙත් මතක් වුණා.දේ දුන්න වගේ ගාණට හැඩ කරපු ඒ කෙල්ලගේ ඇස් දෙක දිලිසෙන්නේ මැණික් ගල් ඔබ්බවපු ගාණට...ඒත් ඉතින් මැණික් ගලේ පය හැපුණට කනා අහුලලා ගනී ද.. ?බුද්ධ පුත්‍රයෙක්ට කනා කියලා මම මට ම නිග්‍රහ කරගත්තා වගේ හැඟීමක් ඒපාර නම් මට ඇති වුනේ.පය ඉක්මන් කරපු මම පන්සලේ ඝන්ඨාරේ ගහනවා වගේ සද්දෙට භික්ෂු විවේකාරේ දොර දඩාස් ගාලා වහගත්තා. පඬු පාට රෙද්දක් අතුරපු සයනයේ වැතිරුණා.ටික වෙලාවකින් මට එයා මම ලඟ ඉන්නවා වගේ දැනෙන්න ගත්තා.එන්න එන්නම හිත නොසසුන් වුණා.එයාගේ මූණ රතු වෙලා යන්න හාදුවක් දෙන්න හිතුණා.බිත්ති ඔරලෝසුවේ තප්පර කට්ට වදින ටික් ටික් සද්දේයි මගේ පපුවේ ගැස්මයි ඇරෙන්න මට කිසිම සද්දයක් ඇහුනේ නෑ.කවදාවත් නැති විදියේ අමුතු හැඟීමක් දැණුනා.මම ආයෙම වතාවක් පුලුවන් තරම් හිත සංසුන් කරගෙන හවස ලෙක්චරේට වැඩියා.

ලෙක්චර් හෝල් එකේ එක එක කෙල්ලෝ අතරින් මගේ හිත ගිහින් නවතින්නෙම ඒයා ලඟින්.කොයිතරම් හිත තද කරන් අහක බලන්න හැදුවත් මගේ හිතත් නියෝන් එලියට ඇඳෙන මෙරුවෙක් වගේ වුණා.අත් කපපු ඇඟට හිර වෙන්න ඇඳපු ඇත්දල පාට බ්ලවුස් එකට ඒයා හුස්ම ගන්න විදිය පවා මට පෙන්න ගත්තා.ඒ හුස්මට හුස්මක් දුරින් ලංවෙන්න මට ඕන වුණා.දවස් ගාණක්ම මම හිටියේ පුදුම නොසසුන්කමකින්.

සිවුරට යට වෙලා සිල් රැක්ක තරුණ කොල්ලා එන්න එන්නම කෝල වෙන්න ගත්තා.අද එයාගේ උපන්දිනේ කියලා දැනගත්තම මට සතුටු හිතුණා.එන්න එන්නම හිතට පාලනයක් නැති වුනා.හෙමින්ම සැරේ බුක් ශොප් එකට වැඩම කරලා රතු පාට හදවතක් ඔරිගාමී කරලා කරලා අමුතුම විදියට හදපු උපන් දින සුබ පැතුම් කාඩ් පතක් අතට ගනිද්දී බුක් ශොප් එකේ අයියා මගේ දිහා අමුතුවට බැලුවා.මගේ මොකද මම ඉක්මනට සල්ලි ගෙවලා ලෙක්චර් හෝල් එකට ආපස්සට පාවෙලා ආවා.කොල්ලෝ කෙල්ලෝ පිරිවරාගෙන ඒයා කේක් එකක් කපන හැටි ඈතට වෙලා බලාගෙන හිටියා.ටික වෙලාවකින් කොල්ලෝ කෙල්ලෝ ටික එහාට මෙහාට ගියාම මම ඒකී ලඟට වැඩම කලා.

"ලඟන්‍යා....සුබම සුබ උපන් දිනයක්...!!!"

මගේ අතේ තිබුණ සුබ පැතුම් කාඩ් පත මම ඇයට දිගුකලා.හිත යට කාලයක් තිස්සේ කැකෑරෙන මගේ හැඟීම් ලියපු පුංචි ලියමනක් ඒ සුබපැතුම ඇතුලට දාලා තියන්න මම අමතක කලේ නෑ.
"අනේ...බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ..."

ඒයා ආයෙත් ලාවට හිනාවෙන ගමන් , මවාගතුපු ගෞරවයකින් සුබ පැතුම් කාඩ්පත අතට අරන් මගේ කකුල් දෙක අල්ලලා මම නොහිතපු විදියට මට වැන්දා...එක පාරට මුලු සර්වාංගෙම කීරි ගැහිලා ගියා.මම පුලුවන් ඉක්මනින් එතැනින් ආපස්සට වැඩම කලේ මහමෙරක් ඔලුවේ තියාගෙන.පන්සලේ බිත්තියේ සිතුවමේ ඉන්න මරඟනන් තෙල් පාටට දිලිසෙන මගේ මුඩු හිස උඩ එහේ මෙහේ ආලිංගන නර්තනයක් කරනවා වගේ පෙන්න ගත්තා.එහෙමයි මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරු තරමට ඔලුවට සෑහෙන්න බර ගතියක් දැනුණා.

ඊට පස්සෙන්දා ලෙක්චර්ස් යද්දී  ලඟන්‍යා ග්‍රීන්ස් ගාව මම එනකන් බලන් ඉන්නවා.
"හාමුදුරුවනේ....!!!"
එයා මට  ඊයේ මම එයාට දීපු සුබ පැතුම් පතේම කවරේ ආපස්සට මගේ අතට දුන්නා.මට සෑහෙන්න ලැජ්ජා හිතුණා.ඒ වගේම මහ පුදුම තරහක් ඉස්මතු වෙලා ඒ ලැජ්ජාව ඉක්මනට නැති වෙලා ගියා.ආයෙත් ඉක්මනට මගේ හිත වෙඬරු ගාණට මෙලෙක් වුණා.

"මට සමාවෙන්න හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ ගමන ඔබ වහන්සේ මම නිසා නතර කරගන්න එපා..!!!"

ඊට පස්සේ දිග කොරිඩෝව දිගේ ඒයා ආපස්සට හැරිලා දුවගෙන ගියා.මම නැවතිලා බලාගෙන හිටියා.

ඒ සුබ පැතුම් කවරේ ඇතුලේ කාලයක් තිස්සේ පොතක් ඇතුලේ දාලා වේලපු දිලිසෙන කහ පාට බෝ කොලයක් දාලා තිබුණා...!

Saturday, January 7, 2017

නුබ කොතන හිටියම මොකද?

මෙහෙම හිතුනේ මුහුණු පොතේ තිබුනු ජාතික රූපවාහිනියේ "සිහිනයකි රෑ' වැඩසටහනට "මුදු මුහුණේ" ගීතයට නාරද මහත්මයගේ පූර්විකාව ඇහුණම...

ඇත්තටම ඔබට බැරිද දෙතුන් වතාවක්,හත් අට පාරක් ආදරේ කරපු කෙනෙක්ට මොකුත්ම දන්නේ නෑ වගේ ආදරේ කරන්න.මම ඔබට යෝජනා කරනවා තුන් හතර පාරක් හරි ආදරේ කරලා ආදරෙන් පැරදිච්ච කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි ආදරේ කරන්න.මේක හරියට ගැලීලියෝට වහ බොන්න කියනවා වගේ වැඩක්!මේ ලෝකේ හැමදේටම පලපුරුද්ද අවුරුදු ගාණකින් හොයන අපිම ආදරේ කරන්න හොයන්නේ කාටවත් ආදරේ කරලා නැති,පුද්ගල ප්‍රේමයට ආගන්තුක මිනිහෙක් හරි ගැහැනියක් හරි.ඒ කියන්නේ ප්‍රේමය කියන අත්දැකීමෙන් පරිණත මනුස්සයෙක් නෙවේ අපි හැමෝම හොයන්නේ.අපි කැමති ප්‍රේමය කියන අත්දැකීම නොයිඳුල් කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි.ඒක තමයි කවුරු කොහොම කීවත් ඇත්ත.ලිංගික කුහකත්වය කියන පුළුල් මාතෘකාවට වස්තු බීජය අපේ හිතේ රෝපණය වෙන්නේ ඔතනින්.ආදරේ කරපු කෙල්ලෙක් වේවා කොල්ලෙක් හෝ වේවා ඔබට ආදරේ කරන්න දන්නවා.ඒ අය ඔබව තෝරගන්නේ සෑහෙන්න මට්ටමක පලපුරුද්දෙන්.ඒ තරම් මිනිස්සු සසඳලා ඒත් ඔබට ම ආදරේ කරනවා නම් ඒ ආදරේ කරන්නේ විහිලුවකට කියලා ලඝු කරන්න ඔබට අයිතියක් නෑ.මිනිස්සුන්ට කෙනෙක් ආදරේ කරනවා නම් ඒ මනුස්සයේ අතීතේ හාර අවුස්සන්න කිසිම ගෑනියෙක්ට හරි පිරිමියෙක්ට හරි ඇත්තටම ඕන නෑ...ඒත් අපි හරි කුහකයි.අපි හිතන්නේ අපිට දෙන හෝ ලැබෙන ආදරේ ගැන නෙවේ...මේ විදියටම තව   කී දෙනෙක්ට ආදරේ කරන්න ඇත්ද කියලා.කවද හරි අපි වෙන්වුනොත් වෙන කොල්ලෙක් කෙල්ලෙක් ලඟ අද තමන්ගේ පෙම්වතිය හරි පෙම්වතා හරි කොහොමට හුරුතල් වෙයිද කියලා. මේ අපිට ලඟා කරගන්න අමාරු සෑහෙන්න දුරක තියන බෝසත් ප්‍රේමයක් ගැන මම කතා කරන්නේ..මනුස්සයෙක්ට වරදින්න පුලුවන්.ඒත් මනුස්සයෙක්ව ආත්මීය වශයෙන් වට්ටවන්න,සමාජය ඉස්සරහ ඒ මනුස්සයගේ ආත්මය මරලා දාන්න කාටවත් අයිතියක් නෑ.ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට ඔබේ අතීතය ගැන කියලා තියන්න ඔබට යුතුකමක් තියනවා.ඒත් එහෙම කතාවක් අහන් නැතිව ඉන්න පෙම්වතෙක් හෝ පෙම්වතියක් විදියට ඔබට වගකීමක් තියනවා.රජී අයියා "රාත්‍රිය සිර ගෙයක්" ගීතයේ කියන විදියට හදවතක් තියන මනුස්සයෙක්ට ප්‍රේමයක් නැති වෙන්න ඉඩක් නෑ...ප්‍රේමය උත්තරීතරයි.ඒ වගේම සාපේක්ශයි.ඒ ප්‍රේමයටත් කවුරු කොහොම කීවත් උස්මිටිකම් තියනවා.මම ඔබට යෝජනා කරනවා ඒ උස් මිටිකම් වලට ගරුකරන්න.ඒ වෙනස ඉවසන්න.මම හිතන විදියට මට දැනෙන විදියට ප්‍රේමය කියන්නේ ඉවසීමට...ගරු කිරීමට...වින්දනයට...

අසේවනාච ආලේනම්

(නිමිත්ත-කවියෙක්ව දේවේශ සහගත ලෙස හැර ගිය පෙම්වතියකගෙන් ලියුමක්)

පොත් කරලා විකුණන්න
තීරු පත්තර වලට
ඒ වුණත් ලියුවේ නෑ
ඔබ වගේ කුප්ප කවි!

නොදන්නවා නොවේ මං
අපි දන්න ගොඩක් අය
මට පැතුවේ එක සිතින්
හෙණ ගෙඩියි වැහි නැතුව

ඇත්තමයි බැලුවාම
හැරගියේ මම නුඹව
හඳ වුණත් දන්නවා
ඔබ ලියුව දුක් කවිය
කවුරුත්ම දන්නේ නෑ
මම නොලියූ අපේ කවිය

රිදුණු තැන් අතගගා
ඔබ දන්නේ නැතුව ඇති
දැන් වුණත් අඬන හැටි
මගේ ඇස් ගොරකා ලොඩි!

"දේවේශ සහගත හැරයෑම"
කළු කබා ලොකු කතා!
උන් වුණත් දන්නෙ නෑ
ආදරේ සිහිල් ගති!!

ආදරේ කියන්නෙම
හද කීරිගස්වන
කිතිකවා සනසවන
හද නිවන සිහිල් ගති

තොදොල් වෙන ආදරේ
මට ඕන වෙලාවක
ඒ වුණත් ඔබ කිව්වේ
රුසියන් පොත් බලන්
ගෝර්කිගේ පඬි වැකි!

මේක රචනාවක්!

මගේ කොණ්ඩය කළු පාටයි.එය අප්‍රිකානු සම්භවයකින් පැවත එන්නෙකි.කොණ්ඩය වැවෙන්නේ කෙරටීන් නිසාය.තවද කොණ්ඩය යනු මිය ගිය සෛල විශේෂයකි.එහෙත් මැරුණු සෛල වැඩෙන්නේ කෙසේ දැයි මා ඇබිත්තන් කාලයේදී ඉතා විශාල ගැටලුවක් විය.පළා කොල මැල්ලුම් කෑමෙන් කොණ්ඩය වැවෙන බව අපේ තුනේ පංතියේ ගුරුතුමී කීවාය.එහෙත් කොණ්ඩය වැවීමෙන් බාබර්ලාට නිකරුණේ මුදල් ගෙවීමට සිදු වන නිසා මම පලාකොළ කෑම අත් හලෙමි.එදා මෙදා තුර මේ දක්වා මා යමෙක්ගෙන් බැණුම් අසා ඇත්නම් ඒවායෙන් වැඩි හරියක් මාගේ කොණ්ඩය කරණ කොටගෙනය.
මා ඇබිත්තන් කාලයේදී මාගේ කොණ්ඩය පීරන්නේ අපේ තාත්තාය.තාත්තාගේ ඒ පුරුද්දට මා කුඩා කල ඉතා ආශා වුණත් මම උසස් පෙල පන්තියේදී නම් එය මට මහත් හිරිහැරයක් විය.මම උසස් පෙල ටියුශන් පන්ති යන විටද තාත්තාගේ සාක්කුවේ තිබෙන කුඩා පනාව ගෙන දහසකුත් සෙනඟ යන එන ටියුශන් පන්ති ඉස්සර මා බලෙන් අල්ලා මාගේ අවුල් වූ හිසකෙස් පීරන පුරුද්ද තාත්තා අත් හැරියේ මාගේ ගෝරණාඩු ඉවසාගත බැරිම තැන විය හැකිය.

මම ඉතා අප්‍රිය කරන්නේ ඉස්කෝලේ උදේ රැස්වීමේ අවසානයි..ශිෂ්‍ය නායිකා අක්කලා ඉන්පසු මට මගේ කොණ්ඩයේ ඇඳ කුඳ හොයමින් වද තිස් දෙකම දෙයි.මම ඒ නිසා රැස්වීම ඉවර වෙන්නට ඔන්න මෙන්න තබා බොහෝ විට ක්ලාන්ත විය.එහෙත් තාමත් ක්ලාන්ත වීම කුමක් දැයි මා දන්නේ නැත.මගේ යෙහෙලියන්ට පාසලට එන විට කෑම පෙට්ටිය,ඉංග්‍රීසි පොත වැනි දේවල් අමතක වුණත් මට අමතක වන්නේ කොණ්ඩය පීරීමට ය.අපේ ස්කුල් වෑන් අංකල්ගේ හිසේ කෙස් ගාණට වඩා ඔහුද මාගේ කොණ්ඩය පීරා ඉස්කෝලය ඇතුලට යවා ඇත.

දිනක් මාගේ ගණිත ටියුශන් පංතියේ සර් මා නැඟිට්ටෙව්වේ ය.ඉන්පසු ඔහු මට කොණ්ඩය දිගට වවා කරලට තෙල් ගා පීරු කෙල්ලෙක්ගේ කොණ්ඩයක් පෙන්නුවේ ය.ගෑනු ලමයෙක්ට ඒ වගේ කොණඩයක් තිබුණම ලස්සනයි යනුවෙන් පැවසූ ඔහු තවත් පිරිමි ලමයෙක් පෙන්වා එක්කෝ ඒ කොල්ලා මෙන් නෝට් එකට කොණඩේ කපන ලෙස මගෙන් ඉතා කාරුණික ස්වරූපයෙන් ඉල්ලුවේ  මගේ කොණ්ඩේ නිසා පස්සේ පේලියේ ලමයින්ට හරියට කළු ලෑල්ල පේන්නේ නැති නිසා ය .එදින පන්තියේ කොල්ලෝ මට හිනා වුණත් මට ගාණක් නැත.මම ඊලඟ දවසේ ද පන්ති ගියේ එසේ මය.බැරිම තැන සර් මම පන්තියේ කොණකින් වාඩි කල අතර ඉන්පසු මගේ කොණ්ඩයට කුමක් හෝ නොකීවේ ය.

ඉන්පසු මගේ කොණ්ඩය මට හරහට හිටියේ මම පාසලේ ශිෂ්‍ය නායිකාවක ලෙස දිව්‍ රුම් දුන් අවස්ථාවේ දී ය.අපේ ශිෂ්‍ය නායිකා මණ්ඩලය භාර ගුරුතුමිය මට ශිෂ්‍ය නායිකා බැජ් එක පැලඳ ගැනීමට වේදිකාවට නැඟීමට පෙර පැත්තකට අඬ ගසා මිස්ගේ කොණ්ඩයෙන් ක(ර්)ල් කටුවක් ගලවා මගේ කොණ්ඩය පැත්තට පීරා ගැසීය.කොණ්ඩ කටුවත් එක්කම කොණ්ඩය නැඟිටීමෙන් මිස්ගේ උත්සාහය ගඟට ඉනි කැපුවා මෙන් විය.
ඉන්පසු කාලයක මට මගේ කොණ්ඩය වස කරදරයක් වූයේ මම විශ්ව විද්‍යාලයට ඇතුලත් වූවායෙන් පසුවය.මම කැම්පස් ගිය පලමු දවසේම කිරිබත් කැවුම් ආදියෙන් සංග්‍රහ කරන සීනීයර්ලාගෙන් එකෙක් මට කොණ්ඩ කැවුමක්  දී කොණඩ කැවුමට මට වඩා ලස්සන කොණ්ඩයක් තිබේ යැයි මාව සෙත්තල් කිරීමට ගැනීම නිසා මට කැම්පස් තිත්ත විය.කොණ්ඩය වවාගත් සීනියර්ලා දෙතුන් දෙනෙක් ෆැකල්ටියේ හිටි නිසා උන් දෙන්නා මට පෙන්නා අනිත් සීනියර්ලා උන්ගේ කොණ්ඩය මගේ කොණ්ඩයට වඩා ලස්සන යැයි නිරන්තරයෙන් මට තරවටු කිරීමේ අතුරු ප්‍රතිපලයක් ලෙස මම පලමු වසරේදී කැම්පස් ගියේ ඩීන් සර්ගේ හිසේ කෙස් ගාණටත් වඩා අඩුවෙන් ය.එහෙත් එහි අතුරු ප්‍රතිපලයක් ලෙස මම පලමු වසරේදී මාගේ කේශ කළ්‍යාණය වැවීම ආරම්භ කලෙමි.

එමෙන්ම මගේ කොණ්ඩයට උසුලු විහිළු කතා කිවූ කොල්ලෝ කීප දෙනෙක්ට විරුද්ධව කැරලි ගැසීමට මාගේ සූරවීර මිතුරියන් දෙදෙනා උත්සුක වීවෙන් අනතුරුව ඒ කොල්ලෝ සෙට් එක අදටත් අපි සමඟ ජන්මාන්තරය.

මා ගෙදර සිටින දිනකට මාගේ කොණඩය නිසා අම්මාගෙන් දහදොලොස් වතාවක් බැනුම් ඇසීම මාගේ විනෝදාංශය වී ඇති අතර අපේ අම්මා පවසන පරිදි මට කොල්ලෙකු සෙට් නොවෙන එකම හේතුව මාගේ කොණ්ඩයයි. සිලිකන් බෝතලයක්  එකපාර දැම්මත් ,මූස් ගා සෙට් කරත් ටික වෙලාවකින් මට ඕනෑ විදියට නොව කොණ්‍ඩයට ඕනෑ විදියට සිටින මගේ හිතුවක්කාර කොණඩයට මම ආදරෙයි.මගේ කොණඩය මට ආදරෙයි.

තාත්තගේ සුනාමිය

මගේ ජීවිතේටම අම්මා දුවනවා දැකපු පලවෙනි දවස ඒ.අම්මා ගෙදරට මොනවද බඩු වගයක් ගේන්න කඩේ ගිහින් හිටියේ.අම්මා අඬාගෙන ගෙදර දුවද්දී තාත්තයි මමයි සෑහෙන්න කලබල වුණ හැටි තාමත් මතකයි.මල්ලි ගොඩක්ම පොඩියි.අම්මට මොකක් හරි කරදරයක් වෙලා කියලමයි අපිට හිතුණේ.මුහුද පස්සෙන් එනවා කියලා අම්මා අඩද්දී මම තබ්බීරී වෙලා ගියා.අම්මා කියන විදියට අම්මගෙන් පස්සෙන් මුහුද එනවා...අම්මා මුහුදට කලින් පණ කඩාගෙන ගෙදර දුවලා...අම්මාට ඕන මල්ලියි මමයි තත්තායි අරන් ආයෙත් දුවන්න...අම්මා පිස්සුවෙන් වගේ මල්ලි වඩාගෙන දැන් අනිත් අතට දුවන්න හදන්නේ..දැන් දැන් පාරේ මිනිස්සු කෑ ගහගෙන දුවනවා මුහුද පස්සෙන් එනෝ...දුවන්න ගාගෙන ...එයාලා කියන විදියට එයාලගේ පස්සෙන් මුහුද ආපු වේගෙට දැන් මුහුද පාංචාලිය හංදියේ..අපේ ගෙදර ලඟ හංදිය ඒ....ගෙදර හිටිය අපේ තාත්තට අම්මාගේ හැසිරීම පට්ට විහිලුවක් වෙන්න තප්පරයක් දෙකක් ගියේ නෑ...මුහුද ඔයැගේ පස්සෙන් එනවා නම් ගෙදර දිව්වේ මොකටද...දැන් මෙහෙත් මුහුද ඔයැයිගේ පස්සෙන් එනවා ඇති...පාර දිගේ එහෙමම දුවන්න එපා ද... මොකටද ගෙදර ආවේ කියලා තාත්තා විහිලු කරන්න ගත්තම අම්මා යකා ඇවිස්සුණා.පාරේ මිනිස්සු කෑ ගහගෙන වාහන වල හරි පයින් හරි දුවනවා හයියෙන් අඬ අඬා කෑ ගහ ගහා.අම්මට ඕන අපිත් අරන් දුවන්න...තාත්තට ඕක හෙණ විකාරයක්...තාත්තා කියනවා දුවන්නම් වාලේ කොහේ දුවන්නද...මැරෙනවා නම් එකට මැරෙමු...දුවලා මහන්සි වෙලා මැරුණත් එකයි ....මහන්සි නැතුව මෙහෙම මැරුණත් එකයි කියලා...මට මතක විදියට අපේ අම්මාගෙන් තාත්තා කන පුරවලා අහගත්ත දවසක් නම් ඒ එදා තමයි...මාත් අම්මගේ පැත්ත ගත්තා.තාත්තගේ බක පණ්ඩිතකම නිසා හැමෝම මැරෙයි කියලා මට ජීවිතේ පලවෙනි වතාවට මරණ බය ඇති වුණා.තාමත් මතක වෙද්දී හිරිගඬු පිපෙනවා.මමත් කෑ ගහ ගහ අඬ අඬා තාත්තා අඳින්න ගත්තා ඒ පාර.මම අඬ අඬා කෑ ගහද්දී නම් තාත්තා දුවන්න ලෑස්තියි.ඒත් දුවන්න කලින් තාත්තට රැවුල කපන්න ඕනලු.පිස්සෙක් වගේ පාරේ දුවන්න බැහැලු....එහෙම කියලා මිනිස්සු පණ බයේ දුවද්දී අර කෝහේද ගිනි ගනිද්දී කවුද වීනා ගැහුවා වගේ මුහුද ගොඩ ගලලා ඉවර වෙනකන්ම අපේ තාත්තා රැවුල කැපුවා.එදා නම් මට තාත්තා එක්ක යක්ෂාරූඪ වෙලා හිටියේ...ඒත් දැන් තමයි තාත්තගේ ඉවසීම තේරෙන්නේ...අම්මා ඒ වෙලේ සෑහෙන්න බය වෙලා හිටිය එක ඔය වගේ ගෙදර ඇති වෙච්ච වාදයක් නිසා හරි ටිකක් වෙලාවකින් නැති වෙලා ගියා .ඒත් ඒ මතකෙට තාමත් හරි බයයි....ඇඟේ හිරිගඬු තාමත් පිපෙනවා මරණ බයට එදා ඇතිවෙච්ච...

සිංදුව

ඒක මහ අමුතු චරිතේ.. නිකන් දවසකට අපි කෝල් කලත් ආන්සර් කරන්නේ නැතුවට සුමාන ගාණකට පස්සේ හරි මොකද මේට් කතා කලේ මට කියලා, ඒකත් අකුරු අඩු කරලා   කෙටිම කෙටි පණිවිඩයක් එවන්න හරි අමතක කරන්නේ නෑ.අපි ප්‍රශ්නෙක හිටියොත්  අපිට උදව් කරන්න මිනිහට බැරි නම් මිනිහා දන්න කියන වෙන කෙනෙක් ලවා හරි උදව් කලා.ඒ මිනිහගේ හැටි !ඒත් එයාට ඕන දවසට කෝල් ආන්සර් කරන්න අපි සැඳී පැහැදිලා ඉන්න ඕන වුණා.නැත්නම් මිනිහ යක්ෂාරූඪ වුණා..දැන් අපිට ඒ සිංදුව කට පාඩම්...! ඔව්...අපේ සෙට් එකේ හැමෝටම වගේ...අපි ඒ සිංදුව අහන්න බෑ කිව්වොත් මිනිහා අපිට බලෙන් හරි තුන් හතර පාරක් අස්සවනවා ඒ සිංදුව...ඒකා මොන හේතුවට බීවත් ටිකක් වැඩි වුණොත් ඒකා කතා කරන්නේ ඒකාට තාම දිරවගන්න අමාරු අවුරුදු ගාණකට කලින් කාපු බූට් එකක් ගැන.මිනිහට කාපු බූට් එක දිරවගන්න බැරි තරමටම මිනිහා බිව්වම  කියන සාහිත්‍යය,දර්ශනය,ආගම,නීතිය,ආදරය හා විරහව කියන පුළුුල් මාතෘකා අපට දිරවගන්න අමාරු වුණා.මිනිහා ඒ හැම මාතෘකාවටම මේ සිංදුව ගැලපුවා.ඒකා හරි බයයි අපි ඒකා බිව්වම කියන සාරගර්භ දේවල් අහන් ඉන්නේ නැතුව ෆෝන් එක පැත්තකින් තියලා තියයි කියලා.ඒ නිසා බීවම විග්‍රහ කරන කරුණු වලින් නිතර ප්‍රශ්න අහනවා.එකී නොකී මෙකී හැම කරුණම අවධාරණය කරමින් සාරාංශ කරනවා.ඒ ඕනම වෙලාවකට අපිට මිනිහා බලාපොරොත්තු වෙන උත්තරේ දීගන්න බැරි වුනොත් ආයෙම අර සිංදුව මුලක ඉඳන් අහන්න වුණා.දැන් ඇති මේට් දේශානාව පව් නොදී නිදා ගනින් කියන්න හිතුණට අපි එහෙම කීවේ නෑ.මිනිහගේ හිත හොඳයි කියලා අපි දන්නේ බොන වුන්ගේ අක්මා වකුගඩු නරක වුණාට හිත හොඳයි කියලා ඒකා කියන නිසාම නෙවේ.ඒකා කියන විදියට දොස්තරලා වැඩිපුර සලකන්න ඕන බොන මිනිස්සුන්ට...ටොබැකෝ එකට,ගවර්මන්ට් එකට වැඩිපුර බදු සල්ලි ගෙවන්නේ වුන් නම් රජයේ ඉස්පිරිතාලවලින් වැඩිපුර සලකන්න ඕන වුන්ට...!බිව්වම කැඩෙන සිල්පද ගැන විතරක් නෙවේ හැදෙන හැටහුටාමාරක් රෝග ව්‍යාධීන් ගැනයි බීමත් පුද්ගලයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතු හා නොකලයුතු තැන් ගැනයි එයා දන්නවා.ඒ නිසා අපිට බොන්න එපා කියලා මිනිහට පැහැදිලි කරන්න කිසිම කරුණක් නෑ.මිනිහා ඒ ඔක්කොම දන්නවා.ඒ නිසා අපිට තිබුණේ මිනිහා බීපු දවසට මේ සිංදුව අහන්න ....අහගෙන ඉන්න...අනිත් උන් වගේම දුවලා පැනලා හිටියට මිනිහගේ හදවතේ ඉන්න හුදෙකලා මිනිහා ඉස්සර වෙන්නේ බීව දවසට...අපිට තිබුනේ එහෙම දවසට මේ සිංදුව අහන් ඉන්න..හරි මේට් සිංදුව පස්සේ  අහන්නම් කීවට මිනිහට අපිව සුවර් නෑ.මිනිහගේ ස්මාර්ට් ෆෝන් එකින් ඒ සිංදුව දාලා නොකියා ෆෝන් එක ලඟට කරලා , මිනිහගේ ක්‍රෙඩිට් කපාගෙන හරි අපිට ඒක ඇස්සුවා.ඊට පස්සේ අපිට ඒක අහගෙන ඉන්න වුණා.අහන් හිටියා..අහගෙන හිටියා...

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා....

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අඟින් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි