Saturday, January 7, 2017

තාත්තගේ සුනාමිය

මගේ ජීවිතේටම අම්මා දුවනවා දැකපු පලවෙනි දවස ඒ.අම්මා ගෙදරට මොනවද බඩු වගයක් ගේන්න කඩේ ගිහින් හිටියේ.අම්මා අඬාගෙන ගෙදර දුවද්දී තාත්තයි මමයි සෑහෙන්න කලබල වුණ හැටි තාමත් මතකයි.මල්ලි ගොඩක්ම පොඩියි.අම්මට මොකක් හරි කරදරයක් වෙලා කියලමයි අපිට හිතුණේ.මුහුද පස්සෙන් එනවා කියලා අම්මා අඩද්දී මම තබ්බීරී වෙලා ගියා.අම්මා කියන විදියට අම්මගෙන් පස්සෙන් මුහුද එනවා...අම්මා මුහුදට කලින් පණ කඩාගෙන ගෙදර දුවලා...අම්මාට ඕන මල්ලියි මමයි තත්තායි අරන් ආයෙත් දුවන්න...අම්මා පිස්සුවෙන් වගේ මල්ලි වඩාගෙන දැන් අනිත් අතට දුවන්න හදන්නේ..දැන් දැන් පාරේ මිනිස්සු කෑ ගහගෙන දුවනවා මුහුද පස්සෙන් එනෝ...දුවන්න ගාගෙන ...එයාලා කියන විදියට එයාලගේ පස්සෙන් මුහුද ආපු වේගෙට දැන් මුහුද පාංචාලිය හංදියේ..අපේ ගෙදර ලඟ හංදිය ඒ....ගෙදර හිටිය අපේ තාත්තට අම්මාගේ හැසිරීම පට්ට විහිලුවක් වෙන්න තප්පරයක් දෙකක් ගියේ නෑ...මුහුද ඔයැගේ පස්සෙන් එනවා නම් ගෙදර දිව්වේ මොකටද...දැන් මෙහෙත් මුහුද ඔයැයිගේ පස්සෙන් එනවා ඇති...පාර දිගේ එහෙමම දුවන්න එපා ද... මොකටද ගෙදර ආවේ කියලා තාත්තා විහිලු කරන්න ගත්තම අම්මා යකා ඇවිස්සුණා.පාරේ මිනිස්සු කෑ ගහගෙන වාහන වල හරි පයින් හරි දුවනවා හයියෙන් අඬ අඬා කෑ ගහ ගහා.අම්මට ඕන අපිත් අරන් දුවන්න...තාත්තට ඕක හෙණ විකාරයක්...තාත්තා කියනවා දුවන්නම් වාලේ කොහේ දුවන්නද...මැරෙනවා නම් එකට මැරෙමු...දුවලා මහන්සි වෙලා මැරුණත් එකයි ....මහන්සි නැතුව මෙහෙම මැරුණත් එකයි කියලා...මට මතක විදියට අපේ අම්මාගෙන් තාත්තා කන පුරවලා අහගත්ත දවසක් නම් ඒ එදා තමයි...මාත් අම්මගේ පැත්ත ගත්තා.තාත්තගේ බක පණ්ඩිතකම නිසා හැමෝම මැරෙයි කියලා මට ජීවිතේ පලවෙනි වතාවට මරණ බය ඇති වුණා.තාමත් මතක වෙද්දී හිරිගඬු පිපෙනවා.මමත් කෑ ගහ ගහ අඬ අඬා තාත්තා අඳින්න ගත්තා ඒ පාර.මම අඬ අඬා කෑ ගහද්දී නම් තාත්තා දුවන්න ලෑස්තියි.ඒත් දුවන්න කලින් තාත්තට රැවුල කපන්න ඕනලු.පිස්සෙක් වගේ පාරේ දුවන්න බැහැලු....එහෙම කියලා මිනිස්සු පණ බයේ දුවද්දී අර කෝහේද ගිනි ගනිද්දී කවුද වීනා ගැහුවා වගේ මුහුද ගොඩ ගලලා ඉවර වෙනකන්ම අපේ තාත්තා රැවුල කැපුවා.එදා නම් මට තාත්තා එක්ක යක්ෂාරූඪ වෙලා හිටියේ...ඒත් දැන් තමයි තාත්තගේ ඉවසීම තේරෙන්නේ...අම්මා ඒ වෙලේ සෑහෙන්න බය වෙලා හිටිය එක ඔය වගේ ගෙදර ඇති වෙච්ච වාදයක් නිසා හරි ටිකක් වෙලාවකින් නැති වෙලා ගියා .ඒත් ඒ මතකෙට තාමත් හරි බයයි....ඇඟේ හිරිගඬු තාමත් පිපෙනවා මරණ බයට එදා ඇතිවෙච්ච...

No comments:

Post a Comment