Thursday, August 11, 2016

සීලය

සිල් බිඳගන්නා අය නම් අඩුවක් නැත.සිල් රකින අයද අඩුවක් නැත.සීල ආදී උසස් ගුණ රකින උතුමන්ට දෙන තෑගි පිරිකර නමින් හඳුන්වයි.කලකට පෙර දාන පාරමිතාව සම්පූර්ණ කල මාගේ සීල පාරමිතාව මේ ආකාර ය.

ඉස්කෝලේ දෙන්නේ තෑගිය.පන්සලේ දෙන්නේ පිරිකරය.ඉස්කෝලේ ප්‍රයිස් ගිවන් එකටද අපේ සල්ලී අරන් අපටම තෑගි දෙන නිසා දහම් පාසලේ ද අපේ සල්ලි වලින් අපිටම පිරිකරක් දෙනවා යැයි මට සිතුණි.කෙසේ වෙතත් කාගෙන් හෝ ලැබෙන තෑග්ගකට හෝ පිරිකරකට මම තාමත් ආසය.

ඒ දිනවල අපේ මල්ලී මොට්ට සෝරියේ පලමු වසර අධ්‍යාපනය ලැබූ අතර මම හය වසරේ ය.තෑග්ගක් ගැනීමට ඊලග පෝයට මා සමඟ සිල් ගන්නට එනවාදැයි මම ඔහුගෙන් විමසුවෙමි.මම එසේ ඇසුවේ ඔහු මට වඩා බෙහෙවින් කුඩා නිසා පසුව ඔහුගේ තෑග්ගද මට රවටා ගන්නා අටියෙනි.අවසානයේ තෑගි ගැනීම සඳහා සිල් ගැනීමට ඔහුද එකඟ විය.ඒ තෑගි පිරිකර ලෙස හඳුන්වන බවද මම ඔහුට කියා දුන්නෙමි.

අම්මා අවුරුදු හතරක පමණ වයසැති මල්ලී සිල් ගන්නවාට අකමැති විය.නමුත් මල්ලී හිරල පන්නාගෙන අඬා දොඬා අම්මා කැමති කරගත්තාය.වසර හතක් පමණ  වැඩිමල්  භාරදූර්‍ය වගකීම් සහිත අක්කා ලෙස මම ඔහුද කැටුව සිල් සමාදන් වීමට පන්සල් ගියෙමි.

මල්ලී ද මම ද සිල් ගත්තෙමි. සක්මන් භාවනාවක් කරන්නට තිබුනි.සක්මන් භාවනාව අතර තුර අපේ මල්ලී මට අතින් ඇන්නේය.
"අක්කේ සරම ගැලවෙන්න වගේ"
"නෑ..එහෙම ගැලවෙන්නෙ නැහැ"
සක්මන් භාවනාව කරන ගමන්ම මම ඔහුට පැවසුවෙමි.
"ඒ අක්කේ..සරම ගැලවුනා නේ"
ටික වෙලාවකින් ඔහු බිම වැටුනු සරම අතට ගෙන යටට ඇඳගෙන ආ සුදු කොට කලිසම පිටින් ය.හතර විලි ලැජ්ජය.වසර හතක් වැඩිමල් භාරදූර්‍ය වගකීම් සහිත අක්කා ලෙස මම නැවත ක්‍රියාත්මක වී වහාම මල්ලීට සරම අන්ඳවා මගේ ලමා සාරියෙන් හැට්ට කට්ටක් ද ගැසුවෙමි.

ඉන්පසු ධර්ම දේශනාවක් ආරම්භ විය.ධර්ම දේශනාව අතර තුර මල්ලී ආයෙත් මට ඇන්නේය.

"ඒ අක්කේ මට .... දාන්න ඕන නේ"
"ඔහොම ඉන්නවා බණ ඉවර වෙනකන්"
"ඒ මට යන්න වගේ නේ"
මූ මෙතන කරෝතින් වසර හතක් වැඩිමල් භාරදූර්‍ය අක්කා ලෙස මට මෙතන හෝදන්නට පවා වේ යැයි බිය වුනෙමි. වහාම බණ මැද්දෙන් නැගිටා මම මල්ලී පිරිමි ලමුන්ගේ කැසිකිලියක් තියන තැනකට එක්කන් ගියෙමි.මල්ලී මට නැවත ඇන්නේය.
"ඒ අක්කේ මට තනියම යන්න බයයි.ඔයත් එනවකෝ"
කොහොමෙන් කොහොම හරි මේ යකා කැන්ඳාගෙන මම කොල්ලන්ගේ කැසිකිලියට ද ගියෙමි.වෙලාවට වෙන කොල්ලෙක් ඇතුලේ හිටියේ නැත.

නැවතත් පැමින සාවදානව බණ ඇසීමට පටන් ගත්තෙමු.ඉන්පසු උදෑසන දානයි.මල්ලී පිඟාන ද රැගෙන වාඩී වී සිටි පැදුරෙන් නැගිට්ටේය.ජීවිතේට බත් කා නැති සෝමාලියාවේ එකෙක් මෙන් "ඇන්ටී...මටත් බත් දෙනවා නේද?" යනුවෙන් ඔහු හයියෙන් ඇසුවේය.මේ බත් නොව දානය යැයි අත්තම්මා කෙනෙක් සැර දැම්මා ය.අබරන් සිල් ගත්තාට වැඩිය හපන්‍ ය.තත්වය ඉන්න එන්න බරපතලය.මට නම් ඔහුගේ වැඩ වලට දැන් දැන් එක සිය ගාණට තරහ ය.කෙසේ නමුත් අපි දෙන්නාගේම පිඟන් වලට දානය ලැබුනි.
අපේ මල්ලී ආයෙත් මට අතින් ඇන්නේය.
"ඒ අක්කේ බත් ටික කවනවකෝ"
"අතින් කනවා..මම අම්මා යැයි බත් කවන්න"එවර මම ඔහුට සැර කලෙමි.නොසිතූ විරූ ලෙස ශාලාවේ උළු විසි වෙන හයියෙන් ඒ යකා අඬන්නට පටන් ගත්තේ ය.වහාම අසල සිටි උපාසක අම්මලා ක්‍රියාත්මක වීම නිසා මල්ලීගේ අඩෝ වැඩියාව නතර විය.

දානය වලඳා අවසන් වී ටික වෙලාවකින් මේකාට නිදිමත සෑදී ඇත.ඊලඟ ධර්ම දේශනාවේ දී මගේ උකුලට වැටී හොඳටම නිදි ය.ටික වෙලාවකින් හදිස්සියේම අවදි විය.නින්දෙන් නැගිට්ටේම පිටි කිරි ඉල්ලා අඩාගෙන ය.හොටු පෙරාගෙන පොලොවේ හැපි හැපී කිරි පිටිම ඉල්ලයි.කිරි පිටි දීමට පන්සලේ ඇති එකෙක් නැත.තරහ වැඩිකමට ඔහුගේ කොණ්ඩය ඔහුම අත් දෙකින් රිදෙන්නට ඇඳ ඇඳ අඬයි.බණ දේශනාව මොහොතකට නවත්වා හාමුදුරුවන් වහන්සේ ද මල්ලී දෙස අනුකම්පාවෙන් බලයි.බුදු හාමුදුරුවන් පිරිණිවන් පෑවයි කීවත් සාදු සාදූ කියන උපාසක අම්මලා ඒ පාර නම් ඔරොවති.ගස්සති.

බැරිම තැන සීලය පැත්තකට දා ඔහු වඩාගෙන වසර හතක් වැඩිමහලු භාරදූර්‍ය වගකීම් සහිත අක්කා ලෙස  මම නැගිට්ටෙමි.කෙලින්ම ගෙදර ආවෙමි.ඉන්පසු නම් සිල් ගැනීමට කිසිම දිනයක ගියේ නැත.සිල් ද එපා විය.එදින සිල් පවාරණය නොකල නිසා නිසා තාමත් මම එකී සීලයම ගම් නියම් ගම්හි සැරිසරමින් රකිමින් කටයුතු කරන්නෙමි.ඒ නිසා නැවත සිල් ගැනීමට අවශ්‍යතාවක් ද නැත. :-D :-D :-P

විශ්වා

No comments:

Post a Comment