Tuesday, August 9, 2016

යාළු මාළු

කුඩා කාලයේ සිටම සුරතල් මසුන් ඇති කිරීමේ ආශාවක් මට විය.අපේ ප්‍රයිමරියේ දිය සීරාවන් බොහෝ තිබුණි.දැන් නම් ඒ දිය සීරාවල් තියා එතන අපේ ප්‍රයිමරිය ද නැත.

සුරතල් මසුන් ඇති කිරීමට මා තුල තිබුනු ආශාව සුළුපටු නොවුණි.එක වසරේ සිටි අපට ඉස්කෝලේ දොලහට ඉවර ය.ඒත් ඉස්කූල් වෑන් එක ප්‍රයිමරියේ කුඩා අපි ද, මහ විද්‍යාලයේ අක්කලා අයියලාද යන ඔක්කෝම එක්කන් යන්නට එන්නේ දෙකටය.අපට ඒ නිසා හිතේ හැටියට නටන්නට සෑහෙන්න වෙලාවක් ඉතුරුය.පාසල අවසන් වූ විට අපි අල්ලන සෙල්ලම හෝ ගස් මාරු වන සෙල්ලම කලෙමු.ස්කූල් වෑන් එක එන වෙලාව අල්ලා ඉස්කෝලේ පිටිපස්සේ කුඩා දිය පාරවල් වල මාළු ඇල්ලීමට ගියෙමු.

මාගේ මිතුරා මට දිය සීරාවල සිටින මාළුවන් ඔහුගේ වතුර බෝතලයේ පියනෙන් අල්ලා දෙයි.මා අත වෙන සිලි සිලි උරයට ඔහු අල්ලා දෙන මාළුවන් මම එකතු කලෙමි.එසේ දිනක් අපි මාළුවන් විශාල ප්‍රමාණයක් අල්ලා සිලි සිලි උර දෙකක් ම පුරවා ගත්තෙමු.ඒත් අපි ඒ මාළු ද රැගෙන ඉතා සතුටින්, ප්‍රීතියෙන් ස්කූල් වෑන් එකට ගොඩ වූ වහාම මහ විද්‍යාලයේ අයියලා ,අක්කලා අපට එරෙහි විය.ඊයීයීයී...චී....ගා අක්කලා කෑගහන්නට විය.අයියලා අපි දෙන්නා නෝන්ඩි කරන්නට විය.අන්තිමට අපේ අතේ වූ මාළු උර දෙකම වෑන් අංකල් මහ පාරේ කාණුවට විසි කලේය.අපි අල්ලාගෙන ආ මාළුවන් ටික කලකදී ගෙම්බන් වෙන බව අසා පුදුමයට පත් වූ අප දෙන්නාගේ ඇස් නලලට ගියේ ය.
ඉන්පසු අපි ගෙම්බන් වන මාළුන් ඇල්ලීම අතහැර දැම්මෙමු.

ඒත් සුරතල් මසුන් ඇති කිරීමේ ආශාව දින දින වැඩුණි.මහ විද්‍යාලයට යන අපේ ස්කූල් වෑන් එකේ අයියා කෙනෙක් මට සුරතල් මත්ස්‍යයෙක් අරන්  දීමට පොරොන්දු විය.මා විසින් රුපියක් දාහක් ඔහුට දුන් විට  ඔහුගේ මාළු ටැංකිය මාළු සමඟ ම  මට දීමට ඔහු පොරොන්දු විය.

නමුදු වසරක් ගත වුණ තැනදී පවා කුඩා මට රුපියල් දාහක් සොයාගැනීම අපහසු විය.දැනුත් අපහසු එක ඒ දවස්වල නම් කොහෙත්ම බැරිය.මහ විද්‍යාලයේ අයියා මාළු ටැංකිය පොරොන්දු වූ පරිදි මම සල්ලි එකතු කරගන්න තෙක් නොසිට විකුණලාය.මම අත්විඳි පලමු කඩවුනු පොරොන්දුව එයයි.මට එදා සෑහෙන්න දුක සිතුනි.මම සෑහෙන්න අඬා හිත හදාගත් හැටි තාමත් මතකය.

පහුවදාම මා අවුරුද්දට ලැබී එකතු කරගත් රුපියල් පන්සීය තාත්තාට දී  මාළුවෙක් ගෙනෙන්නට පුළුවන් දැයි ඇසුවෙමි.දාහක් යන්නේ ලොකු මාළුවෙක් ගැනීමට නිසා පන්සීයයෙන් කුඩා මාලුවෙක් හෝ මට ලබා ගත හැකි බව මට හොඳටම විශ්වාස ය.පොරොන්දු වූ පරිදි තාත්තා වැඩට ගොස් එන විට මාළුවෙක් ගෙනවිත් තිබුණි.තාත්තා ගෙනවිත් තිබූ මාළුවා දුටු විට මගේ රතු කට්ට තිස් තුන්දාහට පැන්නේය.තාත්තා රුපියල් පන්සීය දී ගෙනවිත් තිබුනේ මා ගාල්ලේ මාළු ලෑල්ලකින් ලොකු කෙලවල්ලා මාළුවෙකි.අපේ තාත්තා කල වැඩෙන් මට සුරතල් මසුන් ඇති කිරීම නම් තිත්තට එපා වුණි.ඒ මා අත්විඳි දෙවනි කඩවුණු පොරොන්දුව යි.ඒත් මහ විද්‍යාලයේ අයියාට වඩා අපේ තාත්තා හොඳ ය.ඉන්පසු සුරතල් මසුන් ඇති කිරිමේ ආශාව කාලයේ ඇවෑමෙන් මට වියපත් වුණි.

ඉන්පසුව කාලයේ දී අපේ මල්ලීට සුරතල් මසුන් ඇති කිරීමේ ආශාවක් පහල වී තිබුණි.ඔහුගේ එම ආසව පිලිබඳව මුලින්ම කිව්වේ මට ය.ලෝක අමන, අලුකෙත්තේරු ,ගල් මූසල ගොන් වැඩ වලට බොක්කෙන්ම සප් එක දෙන්නේ මම බව අපේ මල්ලී දනියි. එහෙත් දැන් මට මාලුන් ඇති කිරීමේ ආශාවක් නැත.

නිවසේ ලස්සනට තැබීමට මාළු සහිත ටැංකියක් ගෙන ඒමට මල්ලීට ඕ ලෙවෙල් විභාගය සමත් වී තෑගි ලැබුණු මුදල් මට දුන්නේ ය.මේ දිනවල උඩින් යන්නට හෝ බිමින් යන්නට හෝ මොකක්ම හෝ බිස්නස් වැඩකට අත ගැසීමේ අප්‍රමාණ ආශාවකින් මම සිටියෙමි.

මෙවර මා ගොස් ලොකු මාළු ජෝඩුවක් හා ටැංකියක් ගෙන ඒමට දුන් මුදල් වලින් විවිධ වර්ගයේ පොඩි මාළු සීයක් ගෙනාවෙමි.මල්ලීට මල යකා නැග්ගේය.ආලවකා මෙන් දරුණු වී ඔහු මට පන්න පන්නා ගසන්නට පටන් ගත්තේ ය.නමුදු අවසානයේ ඔහුගේ නම දා "සුරතල් මසුන් විකීණීමට ඇත "යන බෝඩ් එකක් ගෙදර ඉස්සරහා ප්‍රදර්ශනය කරන්නේය යන කොන්දේසියට ඔහු කැමති විය.

කෙසේ වෙතත් මල්ලී සහ මම ඒ බෝඩ් එක ප්‍රින්ට් කිරීමට අද  ගාලු ගොස් එන විට ඉතා ධාර්මික දිවි පෙවෙතක් ගත කරන අපේ අම්මා මාළු රොත්ත පිටින්ම ගෙන ගොස් වෙල ලඟ ඇලට දමා ඇත.

තත්වය ශොකනීය ය.මගේ පලමු බිස්නස් අයිඩීයා එක අපේ අම්මා උදැල්ල දැමීමෙන් අවසන් ගමන් ගියේ ය . කෙසේ වෙතත්  අද දින මට මෙන් ම මගේ මල්ලීට ට සුරතල් මසුන් ඇති කිරීමේ ආශාව නැත්තට නැති වෙන්නට ඇතැයි මම සිතමි.මට මොකො ඉතින් මුහුදේ ඉන්නේ එක මාළුව ද...???
-විශ්වා-

6 comments: